යෝජිත “සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත” (Prevention of Organised Crimes Bill) මගින් මෙරට අදහස් ප්රකාශ කිරීමේ නිදහස ඇතුළු මූලික මානව හිමිකම් සහ ප්රජාතන්ත්රවාදී ව්යුහය වෙත එල්ලවන අනතුර හේතුවෙන් නිදහස් මාධ්ය ව්යාපාරය ඊට තම විරෝධය පළකර සිටී.
මෙහිදී ජනමාධ්ය නිදහස සහ ගවේෂණාත්මක වාර්තාකරණය අපරාධයක් කිරීමට අදාළව මෙහි ඇති වගන්ති කෙරෙහි නිදහස් මාධ්ය ව්යාපාරයේ විශේෂ අවධානය යොමු වේ.
ඒ අනුව මෙම පනත මගින් බරපතළ හෝ සංවිධානාත්මක අපරාධ සම්බන්ධ අධිකරණ ක්රියාදාමයන් පිළිබඳ තොරතුරු පූර්ව අවසරයකින් තොරව වාර්තා කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කෙරේ. මෙහි ප්රතිඵලයක් ලෙස, රාජ්ය අනුග්රහය ලත් අපරාධ, පොලිස් වධහිංසා පැමිණවීම් හෝ දූෂණ වංචා පිළිබඳව ගවේෂණාත්මක මාධ්යවේදීන් සිදුකරන හෙළිදරව් කිරීම් "විමර්ශනවලට බාධා කිරීමක්" ලෙස අර්ථ දක්වා මාධ්යවේදීන් සිරගත කිරීමට රජයට නීතිමය ප්රතිපාදන ලැබේ. මෙය ජනමාධ්ය නිදහසට තියුණු අභියෝගයක් වන අතර මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය අහුරාලීමකි.
එමෙන්ම බිම් මට්ටමේ පොදු ජනයාගේ ප්රකාශනයේ සහ සංවිධානය වීමේ අයිතිය පැහැර ගැනීමේ උත්සාහයක් ද මෙම කෙටුම්පත මගින් නිරීක්ෂණය වේ.
පනත තුළ "සංවිධානාත්මක කල්ලියක්" සහ "බරපතළ අපරාධයක්" යන්න ඉතා පුළුල් සහ අපැහැදිලි ලෙස අර්ථ දක්වා තිබේ. මේ හේතුවෙන්, තමන් මුහුණ දෙන සාධාරණ ආර්ථික හා සමාජීය ගැටලුවලට එරෙහිව බිම් මට්ටමේ සිවිල් වැසියන්, ගොවි-ධීවර ජනතාව හෝ වෘත්තීය සමිති එකතු වී පවත්වන සාමකාමී උද්ඝෝෂණ හා විරෝධතා පවා "සංවිධානාත්මක අපරාධ" ලෙස හංවඩු ගැසීමේ අවදානමක් පවතී. එමෙන්ම, සාමාන්ය පුරවැසියන් සමාජ මාධ්ය ඔස්සේ රජය විවේචනය කිරීම සහ අසාධාරණයට එරෙහිව එකමුතු වී සංවිධානය වීම පාලනය කරමින්, සමාජය තුළ දැඩි භීතිකාවක් (Chilling Effect) නිර්මාණය කිරීමට මෙම නීතිය මග පාදයි.
ඒ හැරුණු විට පොදුවේ මානව හිමිකම් සහ ප්රජාතන්ත්රවාදය මෙමගින් දැඩි අභියෝගයකට නඩු විභාගයකින් තොරව ආරක්ෂක අමාත්යවරයාගේ නියෝග මත සැකකරුවන් දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමට (Detention Orders) අවසර දීම සහ පොලිසිය හමුවේ ලබාදෙන පාපොච්චාරණ සාක්ෂි ලෙස පිළිගැනීමට මෙයින් ඉඩ සලසා ඇත. මෙය සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය (Right to a Fair Trial) මුළුමනින්ම උල්ලංඡනය කිරීමක් වන අතර, පොලිස් ස්ථාන තුළ සැකකරුවන්ට වධහිංසා පැමිණවීම නීතිගත කිරීමකි. අධිකරණ අධීක්ෂණයකින් තොරව විධායකයට සහ පොලිසියට අසීමිත බලතල පැවරීම හරහා නීතියේ ආධිපත්යය බිඳ වැටෙන අතර, රට ක්රමයෙන් ප්රජාතන්ත්රවාදී රාමුවෙන් මිදී මර්දනකාරී පොලිස් රාජ්යයක් දෙසට ගමන් කරනු ඇත.
අපරාධ මැඩලීම සඳහා රටේ දැනටමත් ප්රමාණවත් සාමාන්ය නීති පවතින පසුබිමක, මෙවැනි අත්තනෝමතික සහ මානව විරෝධී පනත් කෙටුම්පත් දේශපාලන න්යායපත්ර වෙනුවෙන් කරළියට ගැනීම වහාම නැවැත්විය යුතු බව නිදහස් මාධ්ය ව්යාපාරයේ ස්ථාවරයයි.
එබැවින්, රටේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් සහ ප්රජාතන්ත්රවාදී අවකාශය ආරක්ෂා කරනු පිණිස, මෙම සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත වහාම සහ කොන්දේසි විරහිතව ඉල්ලා අස්කර ගන්නා ලෙස නිදහස් මාධ්ය ව්යාපාරය රජයෙන් ඉල්ලා සිටී.
