ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්රතිපත්ති ප්රකාශනයෙන් ජනතාවට ලබාදුන් පොරොන්දුව අනුව, දැනට ක්රියාත්මක ත්රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අවශ්ය පියවර ගන්නා ලෙසත්, එයට ආදේශකයක් ලෙස ඉදිරිපත් කර ඇති “රාජ්ය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත” සම්පූර්ණයෙන්ම ඉවත් කර ගන්නා ලෙස ස්වාධීන වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකතුව විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.
එම ලිපිය පහතින් දැක්වේ
2026 ඔක්තෝබර් 26 වැනි දින
අනුර කුමාර දිසානායක මැතිතුමා
ගරු ජනාධිපති සහ ආරක්ෂක අමාත්ය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජය
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ 01.
ගරු ජනාධිපතිතුමනි,
ත්රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ පොරොන්දුව ඉටු කිරීම සම්බන්ධව සහ “රාජ්ය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත” සම්පූර්ණයෙන් ඉවත් කර ගැනීම
ජාතික ජන බලවේගය රජය බලයට පත්වීමේදී ජනතාවට ලබාදුන් ප්රධාන පොරොන්දුවක් වූයේ රට තුළ වඩාත් ප්රජාතන්ත්රවාදී පාලන ක්රමයක් තහවුරු කිරීමයි. එමෙන්ම, දීර්ඝ කාලයක් තිස්සේ ප්රජාතන්ත්රවාදයට, මානව හිමිකම්වලට සහ මූලික නිදහසට අහිතකර බලපෑම් ඇති කළ ත්රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම ද එම රජයේ මැතිවරණ ප්රතිපත්ති ප්රකාශනය වන “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” තුළින් ජනතාවට ලබාදුන් පොරොන්දුවකි.
එහෙත්, 2026 සැප්තැම්බර් 18 දිනැති ගැසට් නිවේදනය මඟින් ත්රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ඒ වෙනුවට “රාජ්ය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත” නමින් නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇත.
මෙම පනත් කෙටුම්පතේ අන්තර්ගතය සම්බන්ධයෙන් අපගේ අවධානය යොමු කිරීමේදී පෙනී යන්නේ, එහි ඇතැම් විධිවිධාන මඟින් ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම්, පුරවැසි නිදහස සහ වෘත්තීය සමිති ක්රියාකාරකම් සීමා වීමේ බරපතළ අවදානමක් මතු විය හැකි බවයි. එමෙන්ම, 2023 වසරේදී ඉදිරිපත් කිරීමට උත්සාහ කළ ප්රතිත්රස්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මතු වූ විවේචන මෙන්ම, දැනට ක්රියාත්මක ත්රස්තවාදය වැළැක්වීමේ පනතට අදාළව දිගු කලක් තිස්සේ පැවති ගැටලු ද සැලකිල්ලට ගත් විට, නව පනත් කෙටුම්පත පිළිබඳව ද බරපතළ විමසීමක් සිදු කළ යුතු බව අපි විශ්වාස කරමු.
විශේෂයෙන්ම, ත්රස්තවාදී වරද පිළිබඳ පුළුල් අර්ථ දැක්වීම් අනිසි ලෙස යොදාගැනීමෙන් සාමකාමී සමාජ ක්රියාකාරකම්, දේශපාලන විරෝධතා සහ ජනතා අරගලවලට බලපෑම් ඇතිවීමේ අවදානමක් පවතී. එසේම, පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබාගැනීම සම්බන්ධයෙන් පොලිස් හා විධායක බලධාරීන්ට ලබාදෙන බලතල, හදිසි නීතිය ක්රියාත්මක නොවන අවස්ථාවලදී පවා හමුදා සහ වෙරළාරක්ෂක නිලධාරීන්ට ලබාදීමට යෝජනා කර ඇති අත්අඩංගුවට ගැනීමේ පොලිස් බලතල ඇතුළු විධිවිධාන මඟින්, නීතියේ ආධිපත්යය සහ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් බරපතළ ගැටලු මතු විය හැකිය.
මෙම තත්ත්වය විශේෂයෙන්ම වැඩකරන ජනතාවට සහ වෘත්තීය සමිති ව්යාපාරයට අහිතකර ලෙස බලපෑ හැකි බව අපගේ අදහසයි. වෘත්තීය සමිති ක්රියාකාරකම් ත්රස්තවාදී වැරදි ලෙස අර්ථ දැක්වීමට ප්රමාණවත් නොවන බවට සඳහන් විධිවිධාන තිබුණ ද, එම ආරක්ෂාව ප්රායෝගිකව ප්රමාණවත් වන්නේද යන්න විමසා බැලිය යුතුය. පනත් කෙටුම්පතේ අනෙකුත් විධිවිධාන සහ ඒවා අර්ථකථනය කර ක්රියාත්මක කළ හැකි ආකාරය සැලකිල්ලට ගැනීමේදී, වැඩවර්ජන, සාමකාමී උද්ඝෝෂණ, විරෝධතා සහ ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් සිදුකරන සාමූහික ක්රියාමාර්ග ත්රස්තවාදී ක්රියා ලෙස අර්ථකථනය කර ඒවා මර්දනය කිරීම සඳහා යොදාගැනීමේ අවදානම බැහැර කළ නොහැකිය.
වෘත්තීය සමිති යනු සේවකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, සාධාරණ වැටුප් හා සේවා කොන්දේසි දිනාගැනීම සහ සමාජ සාධාරණත්වය තහවුරු කිරීම වෙනුවෙන් ක්රියාකරන ප්රජාතන්ත්රවාදී සංවිධාන වේ. එබැවින්, වෘත්තීය සමිති ක්රියාකාරකම් සහ සාමකාමී ජනතා අරගලවලට අනිසි ලෙස බලපෑම් කළ හැකි නීතිමය විධිවිධාන හඳුන්වාදීම, ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම්වලට මෙන්ම නිදහස් වෘත්තීය සමිති ව්යාපාරයේ පැවැත්මට ද අහිතකර වනු ඇත. ශ්රී ලංකාව ද අපරානුමත කළ ජාත්යන්තර කම්කරු සංවිධානයේ 87 වන ප්රඥප්තියේ සඳහන් ඒකරාශීවීමේ අයිතිය මෙමගින් ඇහිරේ.
තවද, විධායකය, ව්යවස්ථාදායකය සහ අධිකරණය අතර පවතින බලතල බෙදීමේ මූලධර්මය (සංවරණ තුලන) සහ අධිකරණයේ ස්වාධීනත්වය ප්රජාතන්ත්රවාදී පාලනයක අත්යවශ්ය පදනම් වේ. එම බලතල අතර නිසි සමතුලිතතාවයට හානි සිදුවිය හැකි ආකාරයේ නීතිමය විධිවිධාන හඳුන්වාදීම, නීතියේ ආධිපත්යය සහ ජනතාවගේ නිදහස සම්බන්ධයෙන් බරපතළ ගැටලු මතු කිරීමට ඉඩ ඇත.
ත්රස්තවාදය මර්දනය කිරීම හා ජාතික ආරක්ෂාව පවත්වා ගැනීම වෙනුවෙන් අවශ්ය කරන නීති අණ පනත් ශ්රී ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ අවශ්ය තරම් පවතින බව අපගේ හැඟීම වන අතර විධායකය සතුව ද විධිවිධාන නිකුත් කිරීමේ බලය අවශ්ය තරම් පවතින බව අපගේ අදහස වේ. එබැවින් රාජ්යයේ මුලස්ථම්භයන් අසමතුලිත කරන අතිදරුණු නීති අලුතින් අවශ්ය නොවන බව අපගේ හැඟීමයි.
එබැවින්, ස්වාධීන වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකතුව ලෙස අප ඔබතුමාගෙන් අවධාරණයෙන් ඉල්ලා සිටින්නේ:
ප්රජාතන්ත්රවාදය, නීතියේ ආධිපත්යය, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් සහ නිදහස් වෘත්තීය සමිති ව්යාපාරය සුරක්ෂිත කිරීම වෙනුවෙන් මෙම ඉල්ලීම සාධනීය ලෙස සලකා බලා අවශ්ය ක්රියාමාර්ග ගනු ඇතැයි අපි අපේක්ෂා කරමු.
මෙයට,
ගෞරවයෙන්,
ස්වාධීන වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකතුව වෙනුවෙන්
අනූප නන්දුල ජෝසප් ස්ටාලින්
ජ්යෙෂ්ඨ උප සභාපති ප්රධාන ලේකම්
ලංකා බැංකු සේවක සංගමය ලංකා ගුරු සංගමය
චතුර සමරසිංහ ඇන්ටන් මාකස්
ප්රධාන ලේකම් සම ලේකම්
ලංකා වතු සේවක සංගමය නිදහස් වෙළඳකලාප සහ පොදු සේවක සංගමය
එස් අමරසිංහ මංජුල බණ්ඩාර ජයසුන්දර
ප්රධාන ලේකම් ප්රධාන ලේකම්
වාණිජ හා කාර්මික සේවක සංගමය තැපැල් හා විදුලි සන්දේශ නිලධාරින්ගේ සංගමය
ස්වාධීන වෘත්තීය සමිති බහුජන සංවිධාන එකතුව නියෝජනය කරන සංවිධාන
නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමය
ලංකා බැංකු සේවක සංගමය
ලංකා වතු සේවා සංගමය
ලංකා ගුරු සංගමය
ශ්රී ලංකා ජනරජ සෞඛ්ය සේවා සංගමය
තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය
එක්සත් කම්කරු සම්මේලනය
වාණිජ හා කාර්මික සේවක සංගමය
ශ්රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමය
එක්සත් පොදු සේවක සංගමය
ප්රොටෙක්ට් සංගමය
ස්ටෑන්ඩ්-අප්-මූමන්ට්
ලංකා විදුලි තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය
මාධ්ය සේවක වෘත්තීය සමිති සම්මේලනය
නිදහස් මාධ්ය ව්යාපාරයේ වෘත්තීය සමිතිය
ශ්රී ලංකා වෘත්තීය ජනමාධ්යවේදීන්ගේ සංගමය
රක්ෂණ පොදු සේවක සංගමය
ස්වාධීන තටාක සේවක සංගමය
ස්ත්රී මධ්යස්ථානය
අන්තර් විශ්වවිද්යාලයීය වෘත්තීය සමිති මහා සම්මේලනය
ප්රජාතාන්ත්රික අයිතීන් සුරැකීමේ ව්යාපාරය
ලංකා වැවිලි සේවා සංගමය
වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ
ලංකා ප්රගති ගුරු සංගමය
රජයේ විකිරණ විද්යා තාක්ෂණවේදීන්ගේ සංගමය
