අග්‍රහාර සෞඛ්‍ය රක්ෂණාවරණය තවදුරටත් ශක්තිමත් කිරීමට යයි

අග්‍රහාර සෞඛ්‍ය රක්ෂණාවරණය තවදුරටත් ශක්තිමත් කිරීමට යයි

රාජ්‍ය සේවකයන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව හා සුබසාධනය වෙනුවෙන් වඩාත් ඵලදායී රක්ෂණ සේවාවක් සහතික කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ.

රාජ්‍ය සේවකයන්ගේ සහ විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන 'අග්‍රහාර සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය' තවදුරටත් ශක්තිමත් කරමින්, එහි ප්‍රතිලාභ වඩාත් කාර්යක්ෂම හා ඵලදායී අයුරින් ප්‍රතිලාභීන් වෙත ලබාදීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය්‍යාංශයේ දී  (03) දින  පැවැත්විණි.

ජාතික රක්ෂණ භාර අරමුදලේ (NITF) ප්‍රධානීන්, කළමණාකාරීත්ව මණ්ඩලය සහ අදාළ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී රාජ්‍ය සේවකයන්ගේ මෙන්ම විශ්‍රාමිකයන්ගේ ද සෞඛ්‍ය සුරක්ෂිතතාව සහ පවුල්වල සුබසාධනය වෙනුවෙන් අග්‍රහාර රක්ෂණාවරණය වඩාත් ප්‍රතිඵලදායී වැඩසටහනක් බවට පත්කිරීමේ කාලීන අවශ්‍යතාව අවධාරණය කෙරිණි.

මෙහිදී සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ රාජ්‍ය සේවකයන් රටට ඉටුකරන සේවයට නිසි ඇගයීමක් ලබාදීමේදී ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම අත්‍යවශ්‍ය වගකීමක් බවයි.

හදිසි සෞඛ්‍ය අවශ්‍යතාවකදී තමන් වෙනුවෙන් ශක්තිමත් රැකවරණයක් පවතින බවට විශ්වාසයක් රාජ්‍ය සේවකයා තුළ ඇති කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ විය යුතු බව ද හෙතෙම සඳහන් කළේය.

සාකච්ඡාවේදී අවධානය යොමු වූ ප්‍රධාන කරුණු අතර, රක්ෂණ ප්‍රතිලාභ ලබාගැනීමේදී මතුවන ගැටලු හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබාදීම සහ ප්‍රතිලාභ ලබා ගැනීමේ පවතින ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම, කාලීන සෞඛ්‍ය අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි අග්‍රහාර සාමාන්‍ය, රිදී, රන් යන රක්ෂණ යෝජනා ක්‍රම මෙන්ම විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ගේ රක්ෂණ වැඩසටහන තවදුරටත් පුළුල් කිරීම, ප්‍රතිලාභීන් මුහුණදෙන ප්‍රායෝගික ගැටලුවලට විසඳුම් දෙමින්, ප්‍රතිලාභ නිසි පරිදි හා කාලෝචිතව ලබාගැනීමට ඇති හැකියාව තහවුරු කිරීම ආදී කරුණු විය.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image