ස්වාධීන වෘත්තීය සමිති සාදා කම්කරු අයිතීන් රැක ගනිමු ! - සීඑම්යූ මැයි දින ප්‍රකාශනය 2026

cmu-may-day-2026

මෙවර 140 වන ජාත්‍යන්තර කම්කරු දිනය සමරන මේ මොහොත වන විටත් ජාතික වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර මට්ටමේ කම්කරු ජනතාවට මුහුණ පෑමට සිදුව ඇත්තේ වඩාත්ම බැරෑරුම් අභියෝගයන් වලටය. පසුගිය 2025 ජූනි 22 වන දින ඇමරිකා අධිරාජ්‍යවාධීන් විසින් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමඟම තීව්‍ර වූ යුධමය තත්ත්වය හා ව්‍යාප්තවාදී ඊශ්‍රාලය විසින් පලස්තීනය හා ලෙබනනය වෙත එල්ල කරන ලද සමූල ඝාතන ප්‍රහාර හේතුවෙන්, ගෝලීය දේශපාලන හා ආර්ථික ස්ථාවරභාවයට බැරෑරුම් ලෙස ප්‍රහාර එල්ල වූ අතර එම රටවල් වල පමණක් නොව ගෝලීය වශයෙන් එහි අහිතකර බලපෑම් වලට තරාතිරමක් නොමැතිව සියලුම ජන කොටස් වලට මුහුණ පෑමට සිදුව ඇත. 

ශ්‍රී ලංකාවේ ඉන්ධන සහ ගෑස් මිල වැඩිවීම හේතුවෙන් සියලුම භාණ්ඩ හා සේවාවන් වල ගාස්තු විශාල වශයෙන් වැඩි වූ අතර මුහුදු ප්‍රවාහන අවහිරතා හේතු කොටගෙන අපනයන ක්ෂේත්‍රයට ද බාධා එල්ල විය. මෙම හේතුව නිසාම රැකියා කප්පාදු සහ සුළු හා මධ්‍යම ප්‍රමාණයේ කර්මාන්ත බිඳ වැටීම හේතුවෙන් අති විශාල කම්කරුවන් සංඛ්‍යාවකට රැකියා අහිමි විය. විරැකියාව සහ දරිද්‍රතාවය තවදුරටත් වර්ධනය විය. අධික බදු පැනවීම් සහ ජීවන බර වැඩිවීම මත තෙරපී සිටි ජනතාවට මෙය තවත් මරු පහරක් විය. විවෘත ආර්ථිකය සහ ධනේශ්වර මතවාදය ඔස්සේ ගමන් කරන වර්තමාන ආණ්ඩුවට මෙම උගුලෙන් ජනතාව ගලවා ගැනීමට කිසිදු හැකියාවක් නොමැත.

ඒ වෙනුවට ජනතාව මත තව තවත් බර පැටවීමේ පියවර ගනිමින් සිටිති. බලයට පැමිණීමට පෙර කොතරම් ජනතාවාදී වූවද බලයට පත් වූවායින් පසුව ධනේශ්වර ගැති කම්කරු හා ජනතා විරෝධී පියවර ගැනීමට වර්තමාන ආණ්ඩුව ක්‍රියා කරන බවට ඕනෑ තරම් සාක්ෂි ඇත. ඉන්ධන මිල  වැඩිවීම, විදුලි ගාස්තු වැඩි කිරීම, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල වැඩි කිරීම, පොහොර මිල වැඩි වීම, සෘජු හා අනියම් ආකාරයේ බදු තවදුරටත් වැඩි කිරීම දිගින් දිගටම සිදුවනු ඇත. අධ්‍යාපනය, සෞඛ්‍යය සහ අනෙකුත් සියළු පහසුකම් කප්පාදු කෙරෙනු ඇත.

මෙයට විරුද්ධව නැගී සිටින කම්කරු හා සෙසු ජන කොටස් මර්දනය කිරීම සඳහා හදිසි නීතිය සහ ත්‍රස්තවාදය වැළකීමේ පනත උපයෝගී කරගන්නා බවටද සැකයක් නැත. ලංකාව නිදහස ලැබුවායින් පසුව පැවති සියලු ආණ්ඩු පාලනයන් සමඟ සසඳා බැලීමේදී වර්තමාන ආණ්ඩුව ගැන පැවසීමට විශේෂ වෙනසක් පෙනෙන්නට නැත. විවෘත ආර්ථිකය සහ අයිඑම්එෆ් කොන්දේසි මත ක්‍රියා කරන මෙම ආණ්ඩුවෙන් මෙයට වඩා දෙයක් බලාපොරොත්තු වීමටද නොහැක.

බලයට පැමිණීම සඳහා වැඩ කරන ජනතාව හා පීඩිත ජනකොටස් වල සහයෝගය ලබාගත් මෙම ආණ්ඩුව දැන් ඔවුන්ව අමතක කොට සෘජුවම සම්බන්ධ වී ක්‍රියා කරන්නේ ධනවතුන් සහ ධනවාදී පන්තිය සමඟය. එම පන්තියේ අවශ්‍යතාවය ඉටු කිරීම සඳහා කම්කරු ජනතාව මෙල්ල කර දැමීමට පවතින කම්කරු නීති දුර්වල කිරීමට හෝ වෙනස් කිරීමට පියවර ගන්නා අතර කම්කරුවන් පූර්ණ වහල් භාවයට පත් කිරීම සඳහා කම්කරු නීති හඳුන්වා දීම සඳහා පසුගිය ආණ්ඩු මෙන්ම වර්තමාන ආණ්ඩුව ද පියවර ගනිමින් සිටිති.

සේවකයන්ගේ සේවය අවසන් කිරීමට බාධාවක්ව තිබූ පනත අහෝසි කිරීමට ආණ්ඩුව ගත් උත්සාහය පරාජය කිරීම සඳහා සංගමයට නීති පියවර ගැනීමටද සිදුවිය. වැඩ කරන ජනතාවගේ පැත්ත රැගෙන ක්‍රියා කරන සංගමයක් නිසා ජාතික කම්කරු උපදේශක සභාවෙන් අප සංගමය ඉවත් කර දැමීමට පසුගිය ආණ්ඩුව මෙන්ම වර්තමාන ආණ්ඩුවද පියවර ගත්තේය. එපමණක් නොව එම තැනට ඔවුන්ගේම පක්ෂයේ අනුගාමිකයන්ව පත් කරගෙන ඇත.

1928 වසරේ සිට මේ රටේ වැඩ කරන ජනතාව හා සෙසු ජන කොටස් වල මානව හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනවා පමණක් නොව අදටත් ඒ අයුරින්ම ක්‍රියා කරන අප සංගමය මුල සිටම දරන දැඩි ස්ථාවරය වනුයේ වැඩ කරන ජනතාවට ඔවුන් තමන් කෙරෙහි පමණක් විශ්වාසය තබමින් ස්වාධීනව සංවිධානය වී ධනපති ආණ්ඩු සහ හාම්පුතුන් සමඟ සටන් වදිමින් තම අයිතිවාසිකම් දිනාගන්නවා වෙනුවට වෙනත් විකල්පයක් නොමැති බවයි.

දේශපාලන පක්ෂ හෝ පුද්ගලයින් පිටුපස ගොස් ලැබුණු දෙයක් නැත. අවාසනාවට මෙන් මේ රටෙහි කම්කරුවන් කොළ, නිල්, රතු පාට පෙන්වන ධනේශ්වර දේශපාලන පක්ෂ  විසින් පවත්වාගෙන යන වෘත්තීය සමිති වලට බැඳී නැවත නැවතත් රැවටීමට ලක් වූවත් තවදුරටත් ඔවුන් සමග රැඳී සිටීම අදටත් දක්නට ඇත. මෙයින් ගැලවී  කම්කරුවන් ස්වාධීනව පවතින වෘත්තීය සමිති සාදා ගැනීම හරහා වැඩ කරන ජනතාවට හා සෙසු ජන කොටස් වලට එල්ල වන ප්‍රහාර වලට මුහුණ දීමට හා තම අයිතිවාසිකම් දිනා ගැනීමට දැන්වත් සූදානම් විය යුතු බවටත් ඒ සඳහා ස්වාධීන වෘත්තීය සමිති ගොඩ නැඟීමේ ප්‍රයත්නයේදී අප සමඟ එක්වන ලෙසටත් මෙම ඓතිහාසිගත කම්කරු දිනයේදී සියළු කම්කරුවන් හා සෙසු පීඩිත ජන කොටස් වලට ආරාධනා කර සිටිමු.

අපට අවශ්‍ය වන්නේ ආණ්ඩු බලය නොව කම්කරු බලය ගොඩ නැගීමය.

  • ස්වාධීන වෘත්තීය සමිති ව්‍යාපාරය ශක්තිමත් කරමු.
  • විවෘත ආර්ථිකයේ උගුලෙන් සහ අයිඑම්එෆ් කොන්දේසිවලින් ජනතාව බේරා ගනිමු.
  • හාම්පුතුන්ට පක්ෂපාතී කම්කරු නීති සංශෝධන උත්සාහය පරාජය කරමු.
  • ජීවත් වීමට සරිලන ජීවන වැටුපක් සඳහා සහ ජීවන වියදම පහත හෙලීම සඳහා සටන් වදිමු.
  • රැකියා ලෝකයේ ප්‍රචණ්ඩත්වයට සහ හිරිහැර වලට එරෙහිව සටන් වදිමු.
  • ත්‍රස්ත විරෝධී පනත හඳුන්වාදීම පරාජය කරමු.
  • ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය සඳහා සටන් වදිමු.
  • ඊශ්‍රායලය සහ ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉරාන, පලස්තීන සහ ලෙබනනයේ යටිතල පහසුකම් විනාශ කිරීම සහ අහිංසක ජනතාව සමූල ඝාතනය කිරීම හෙළා දකිමු.

ලංකා වෙළඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමය (සීඑම්යූ)

2026 මැයි මස 01 දින