උප තැපැල් ස්ථානාධිපතිවරුන්ට 378 කට ස්ථිර පත්වීම්

උප තැපැල් ස්ථානාධිපතිවරුන්ට 378 කට ස්ථිර පත්වීම්

සාම්ප්‍රදායික ලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තුළින් තැපැල් සේවාව බිඳ දැමීමට කටයුතු නොකර තෑපෑල නඟා සිටුවීමේ රජයේ ක්‍රියාවලියට සියලු දෙනා එක් ව සහයෝගය ලබාදෙන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් විවෘත ඉල්ලීමක්.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මානව සම්පත ඉහළ නැංවීමට පියවර ගනිමින් වැඩබලන උප තැපැල් ස්ථානාධිපතිවරුන් 378 කට ස්ථිර පත්වීම් පිරිනැමීම (15) දින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.

සම්මුඛ පරීක්ෂණ මගින් තෝරාගත් 378 දෙනෙකු සඳහා ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලබාදීමට විශේෂ අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලබා ගැනීමෙන් අනතුරුව මෙම පත්වීම් 378 පිරිනැමීමට කටයුතු යොදා තිබුණි.

පත්වීම්ලාභීන් හමුවේ අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා  උප තැපැල් ස්ථානාධිපති සේවාව ගරු සේවාවක් වශයෙන් 1921 වර්ෂයේ උප තැපැල් කාර්යාල 06 ක් මුලික කර ගනිමින් ආරම්භ වී ඇති බවත්, මේ වන විට දිවයින පුරා පිහිටුවා ඇති උප තැපැල් කාර්යාල ගණන 3410 ක් බව ද පැවසී ය. 1978 වර්ෂයේ උප තැපැල් ස්ථානාධිපතිවරුන්ට රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදලේ දායකත්වය ලබා දී ඇති බවත්, 1994.11.12 දින සිට උප තැපැල් ස්ථානාධිපති තනතුර ස්ථාර විශ්‍රාම වැටුප් සහිත තනතුරක් බවට පත්කර එ් වන විට සිටි උප තැපැල් ස්ථානාධිපතිවරුන් ස්ථිර විශ්‍රාම වැටුප් තත්වයට අන්තර්ග්‍රහණය කර ඇති බව ද අමාත්‍යවරයා පැවසී ය.

උප තැපැල් කාර්යාල පවත්වාගෙන යාම සඳහා ගොඩනැගිල්ල උප තැපැල් ස්ථානාධිපතිවරුන් සොයාගත යුතු අතර, ඒ සඳහා දීර්ඝ කාලයක් රජයෙන් ගෙවනු ලැබුයේ රුපියල් 1500 ක සුළු දීමනාවක් බවත් 2025.04.01 දින සිට එම දීමනාව ඔවුන් උපයන ආදායම ද පදනම් කර ගනිමින් රු.7500 දක්වා නව රජය වැඩිකිරීමට කටයුතු කළ බව ද පැවසූ අමාත්‍යවරයා උප තැපැල් ස්ථානාධිපතිවරුන්ගේ බඳවා ගැනීම් පටිපාටියෙහි බඳවා ගැනීම් සම්බන්ධයෙන් ගැටළු පැවති බව ද එම ගැටළු සහිත කරුණු සංශෝධනය කර යෝග්‍යතා ඇගයීමේ සම්මුඛ පරීක්ෂණයකින් බඳවා ගැනීමට අවශ්‍ය සංශෝධන සිදු කර ඇති බව ද  පැවසී ය.

මෙම සම්මුඛ පරීක්ෂණ ක්‍රමය අනුමත වීමට පෙර වැඩ බැලීමට යොදවනු ලැබු 196 දෙනාට ද ස්ථිර පත්වීම් ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් මේ වන විටත් ඉදිරිපත් කර ඇති බවත්, ඒ සඳහා ලැබෙන අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ඔවුන්ට ස්ථිර පත්වීම් ලබාදීම නුදුරු කාලයේ දී සිදු කිරීමට අදහස් කරන බව ද පැවසී ය.

මෙරට තැපැල් අමාත්‍යධුරය නොසලකා හැර තිබු අමාත්‍යධුරයක් බවත්, යමෙකුට නොසලකා හැරීමට අවශ්‍ය නම් හෝ පළිගැනීමක් සිදු කිරීමට අවශ්‍ය නම්, තැපැල් අමාත්‍යධුරය ලබාදීමේ යුගයක් තිබුණ බව ද පැවසු අමාත්‍යවරයා තැපැල් අමාත්‍යධූරය බාරගැනීමට කවුරුවත් කැමැති නැති බවත්, නමුත් තමන් තැපැල් අමාත්‍යධුරය බාරගෙන වැඩ කිරීමට ඉමහත් කැමැත්තක් දක්වන බව පැවසී ය. අනාගතයේ අමාත්‍යධූර ගැසට් කරන විට සෞඛ්‍ය, ජනමාධ්‍ය හා තැපැල් කියලා කොටසක් එක් කිරීම වඩාත් සුදුසු බවට තමා යෝජනා කරන බව ද පැවසී ය. තැපෑලට වටිනාකමක් ලබාදිය යුත්තේ විෂයභාර අමාත්‍යවරයාගේ සිට බව ද  අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසී ය.

තැපෑල මෙරට නිතර නම කියවෙන, ජනතාවගේ හිතේ ඉහළින්ම ධාරණය වන තැනක් බවට පත් කිරීමට ස්ථීර පත්වීම් ලබාගත් සියලු දෙනා කැපවිය යුතු බවත්, රාජ්‍ය සේවයේ දී ප්‍රධාන ගැටළු වන බඳවා ගැනීමේ හා ස්ථීර කිරීම සදහා ක්‍රමවත් වැඩපිළිවෙලක් රජය සකස් කර ඇති බව ද අමාත්‍යවරයා පැවසී ය. තැපැල් සේවා නිලධාරීන් 600 ක්, උප තැපැල් ස්ථානාධිපති 378 ක්, රියදුරු 40 ක්, අභ්‍යන්තර උසස්වීම් 40 ක් ඇතුළු 1100 කට ආසන්න ප්‍රමාණයක් ස්ථීර කර ගැනීම තැපැල් දෙපාර්තමේන්තුව වැඩිදියුණූ කිරීමේ දී අත්‍යවශ්‍ය පියවරක් ලෙස  තමා සලකන බවත් ඒ අනුව ඉහත බඳවා ගැනීමේ ක්‍රියාවලිය තුළ එම කටයුතු සිදු කර ගැනීමේ හැකියාව තිබෙන බව ද අමාත්‍යවරයා පැවසී ය.

ලබන වසර අවසන් වන විට තැපැල් දෙපාර්තමේන්තු මූල්‍යමය වශයෙන් භාණ්ඩාගාරයට බරක් නොවන, ලාභ ලබන තැනක් බවට පත්කළ යුතු බව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේ ය. එමෙන් ම එය අතිශය ප්‍රියකරු, පාරිභෝගිකයා ආකර්ෂණය කරගත යුතු තැනක් බවට පත් කළ යුතු බව ද පැවසීය. තව ද තැපෑල සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරිමට සියලු වෘත්තීය සමිතිවල දායකත්වය  ලබාදෙන ලෙස මෙහි දී අමාත්‍යවරයා විවෘත ඉල්ලීමක් කරනු ලැබීය. වෘත්තීය සමිති අතර තිබෙන තරඟය නිසා හෝ මීළඟ වසරේ තනතුරු ලබාගැනීමේ අරමුණින් සම්ප්‍රදායික ලෙස තැපැල් සේවා කඩාපල්පල් කිරීමට, ක්‍රියාකිරීම තේරුමක් නොමැති බවත්,  සේවාවේ විශ්වාස පළුදු කර ගැනීමකින් තොරව ක්‍රියා කරන ලෙස ද පැවසී ය.

තැපැල් සේවාව නවීන තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ ව්‍යාප්ත කරමින් තැපෑල දියුණු කිරීමට සෑමදෙනා එක්වන ලෙස ද මෙහි දී අමාත්‍යවරයා ඉල්ලා සිටිනු ලැබීය.

උත්සව සභාව අමතමින් තැපැල්පති රුවන් සත්කුමාර පැවසූවේ තැපැල් දෙපාර්තමේන්තුවේ මානව සම්පත් ගැටළුව විසදා ගැනීම සඳහා පසුගිය කාලය පුරාම විශාල අරගලයක් සිදු කළ බවත්, පැවැති කිසිදු රජයක් ඒ පිළිබඳ අවධානය යොමු නොකරන ලද බවයි. නව රජය යටතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ මැදිහත්වීම මත තැපැල් දෙපාර්තමේන්තුවේ මානව සම්පත ශක්තිමත් කිරීමට හැකියාව ලැබී  ඇති බව ද දෙපාර්තමේන්තුවේ ඉල්ලීම් සලකා බලමින් අමාත්‍යතුමා  ගැටළු වලට විසදුම් ලබා දීමට මේ වන විටිත් කටයුතු කර ඇති බව ද පැවසී ය. දැනට තැපැල් දෙපාර්තමේන්තුවේ අනුමත කාර්ය මණ්ඩල ය 25,000 ක් බවත්, තවත් 8000 ක පමණ කාර්ය මණ්ඩල අවශ්‍යතාවයක් වන බව ද එම පූරප්පාඩු ද සැලසුම් සහගතව, ක්‍රමිකව ඉදිරියේ දී නව රජය යටතේ සපුරා ගත හැකි වනු ඇති බව ද පැවසී ය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා උත්සව සභාව අමතමින්  පසුගිය සමයේ අභාවයට යමින් තිබුණ තැපෑල වත්මන් රජය නව ක්‍රමවේදයන් යටතේ ගොඩනැංවීමට කටයුතු කරන බවත්, තැපැල් සේවාව ඉදිරියටත් අඛණ්ඩව හා ශක්තිමත්ව පවත්වාගෙන යාමට සැලසුම් සහගතව ක්‍රියාත්මක කරන නව වැඩපිළිවෙළට සියලු දෙනාගේ ම සහයෝගය අත්‍යවශ්‍ය බව පැවසී ය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය තැපැල්පති (පාලන) චමීෂා ද සිල්වා, කොළඹ දිස්ත්‍රික් අතිරේක ලේකම් එම්.ඒ.එස් කාංචනා ගුණවර්ධණ,  උප තැපැල් කාර්යාල අධිකාරි එච්.එම්.ඒ.ඡේ බංඩාර යන මහත්මහත්මින් මුලස්ථාන නියෝජ්‍ය තැපැල්පතිවරුන්, තැපැල් දෙපාර්තමේන්තු මාණ්ඩලික නිලධාරීන් ඇතුළු පත්වීම්ලාභීන් එක්ව සිටියහ.