කාර්මික ආරවුල් සාකච්ඡාවන්ට හාම්පුතුන් මුදල් ගෙවා නීතිඥයින් යොදා ගැනීම වලක්වන්න - CMU

cmu

කාර්මික සබඳතා හා කම්කරු ආරවුල් විසඳාලීම සඳහා කැඳවන සාකච්ඡා වලට හාම්පුතුන් විසින් මුදල් ගෙවා නීතීඥයන් යොදවා ගැනීම වළක්වාලන ලෙසට ලංකා වෙළඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමය (සීඑම්යූ) කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු වෙත ලිපියක් යටමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ සඳහන් වන්නේ,  

වෘත්තීය සමිතිය විසින් හෝ සේවකයන් විසින් පෞද්ගලිකව හා සාමූහිකව ඉදිරිපත් කරන පැමිණිලි විභාග කිරීම සඳහා කම්කරු දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාල, කාර්මික සබඳතා අංශය, විශේෂ විමර්ශන අංශය ඇතුළු ආයතන වලින් කැඳවන ලද සාකච්ඡා වලට වෘත්තීය සමිති, සේවක කොටස් හා ආයතන කැඳවන අවස්ථාවන් වලදී ඒ සඳහා සේව්‍යයන්ගේ නියෝජිතයින් වශයෙන් නීතීඥයන් පත් කෙරෙන බව මෑත කාලය තුළ බහුලව දක්නට ලැබේ. නීතිඥයන් මුදල් අය කර ගැනීමෙන් සේව්‍යයන් වෙනුවෙන් පෙනී සිටින හේතුව මත තම පාර්ශවයට කෙසේ හෝ ජයග්‍රහණය හෝ වාසිය ලබාදිය යුතුයි යන අදහසින් පමණක් ක්‍රියා කරන ආකාරයන් ද දක්නට ඇත. මොවුන් බොහෝ අවස්ථාවන් වලදී තමන්ගේ ආර්ථිකමය අවශ්‍යතාවයන් හා තමන්ගේ පෞද්ගලික මත හා අභිලාෂයන් නියෝජනය කරන බවද පෙනී ගොස් ඇත.

ආරවුල් වලට අදාළ පාර්ශවයන් වශයෙන් සේවක සහ සේව්‍ය නියෝජනයන් ඍජුවම සහභාගී වනවා  වෙනුවට තවත් පාර්ශවයක් වන නීතීඥයන් පත්කර ගැනීමටත් නියෝජිතයන් වශයෙන් ඔවුන්ව යොදවා ගැනීම නිසා බොහෝ අවස්ථාවන් වලදී එම ආරවුල් පහසුවෙන් විසඳා ගැනීමට ඇති ඉඩකඩ ඇහිරී යන අතර  නීතීඥවරුන්ගේ උසාවි දිනපොත් පදනම් කරගෙන සාකච්ඡා දිනයන් නියම කරන හේතුව මත එම ආරවුල් සම්බන්ධයෙන් විශාල ප්‍රමාදයන් සිදුවන බවට ද නිරීක්ෂණය වී ඇත.

කම්කරු ආරවුල් යනු අදාළ පාර්ශවයන් අතර  කරන ලද සාකච්ඡා හා සමාජ කතිකාවන් හරහා විසඳා ගැනීමට ඇති කරුණක් වන අතර තුන්වෙනි පාර්ශ්වයක මැදිහත් වීම හෝ නීති තර්ක ඉදිරිපත් කිරීමක් හරහා හෝ සිදුවිය යුතු දෙයක් නොවන බව විශ්වාස කරමු. මෙම ආරවුල් විසඳාලීමේ ප්‍රයත්නයේදී ඒවා පවතින කම්කරු නීති රාමුව තුළ සපයා ඇති ප්‍රතිපාදනයන් වලට අනුකූලව සිදුවන්නේ ද යන්න නිරීක්ෂණය කිරීම හා ඒ අයුරු ක්‍රියා කිරීමට වගබලා ගැනීම කම්කරු දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන්ගේ කාර්යභාරයක් වන බව හා ඒ සම්බන්ධයෙන් තුන්වන පාර්ශවයක් යොදවා ගැනීමට ඉඩ නැත.

අනෙක් අතට ඕනෑම කාරණාවක් පිළිබඳව නීති උපදෙස් ගැනීමට සේවායෝජකයන්ට ප්‍රමාණවත් අවකාශ ඇති නමුදු සේවායෝජකයන්ව නියෝජනය කිරීම සඳහා නීතීඥයින් පත් කිරීම හා එම සාකච්ඡාවන් පවත්වාගෙන යෑමේදී පූර්ණ බලතල ඇතිව හා තම අභිමතය පරිදි පෙනී සිටීමට හා සාකච්ඡා මෙහෙයවීමට නීතීඥවරුන්ට අවකාශය ලබාදීම අසාධාරණ සහ අයුක්ති සහගත වන බව පෙන්වා දීමට කැමැත්තෙමු.

එපමණක් නොව සමහර ජ්‍යෙෂ්ඨ  නීතිඥවරු පෙනී සිටින අවස්ථාවන් වලදී එතරම් ජ්‍යෙෂ්ඨත්වයක් නැති සාමාන්‍ය සේවක කොටස් හා  කම්කරු නිලධාරීන් පවා අපහසුතාවයන් වලට පත්වන අවස්ථාවන් බොහෝමයක් නිරීක්ෂණය වී ඇත. සේවායෝජකයන් නොවන තුන්වෙනි පාර්ශවයක් වශයෙන් නීතීඥයන් පෙනී සිටීමේදී ඔවුන්ගේ පෞද්ගලික ඕනෑ එපාකම් ද ඉලක්ක කර ගනිමින් ඔවුන් ක්‍රියා කරන හේතුව නිසාම සබැඳියාව සම්බන්ධ බරපතල ප්‍රශ්නයන් මතුවී ඇත.

වෘත්තීය සමිති ක්ෂේත්‍රය තුළ හා කාර්මික සම්බන්ධතා පිළිබඳව වඩාත්ම පළපුරුදු හා අත්දැකීම් බහුල වෘත්තීය සමිතියක් වශයෙන් අප හට කීමට ඇත්තේ නීතිඥයන් යොදවා ගැනීම හරහා ආරවුල වෙනත් දෙසකට හරවා ගැනීමට ප්‍රමාද කිරීම හා වෙනත් වාසි ලබාගැනීමට හා අනවශ්‍ය නීති තර්ක හරහා විසඳුම කරා යන මාවත වසා දැමීමට හාම්පුතුන් විසින් උපක්‍රමයක් වශයෙන් නීතීඥයන් යොදවා ගන්නා බවයි.

මෙම කරුණ පිළිබඳව දිගින් දිගටම කරුණු දැක්වීමට අවශ්‍ය වන්නේ නැති බව විශ්වාස කරමු. එබැවින් කාර්මික ආරවුල් පනතේ විදි විධානයන් වලට අනුකූලව සේවකයන් හා වෘත්තීය සමිති විසින් කරන ලද පැමිණිලි විභාග කිරීමේදී හා පාර්ශවයන් අතර සාකච්ඡා කැඳවීමේදී එම විභාග සඳහා නියෝජිතයන් වශයෙන් බාහිර හා තුන්වන පාර්ශවයක් වන නීතීඥයන් ගාස්තු ගෙවා යොදවා ගැනීම වළක්වාලීම සඳහා පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමු. තවද කාර්මික අධිකරණ, කම්කරු විනිශ්චය සභා, වෙනත් කම්කරු අධිකරණයන් වලදී සේව්‍යයා වෙනුවෙන් පෙනී සිටීම සඳහා නීතීඥයන් යොදවා ගැනීම පිළිබඳව අපගේ විරුද්ධත්වයක් නොමැති බවද  කියා සිටින්නට කැමැත්තෙමු.

මෙම කරුණ පිළිබඳව ඔබගේ ක්ෂණික අවධානය යොමු කෙරෙනු ඇතැයි විශ්වාස කරමු.

ස්තූතියි.

මෙයට විශ්වාසී,

ලංකා වෙළඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමය (සීඑම්යූ)