මොහොමඩ් සුහෙල්ගේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව: PTA අවභාවිතය සහ රාජ්‍ය නිහඬතාව ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල තර්ජනයක්!

ima

මොහොමඩ් රිෆායි මොහොමඩ් සුහෙල්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් ඓතිහාසික තීන්දුව(මාර්තු 23), ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සම්බන්ධයෙන් පවතින අඳුරු යථාර්ථය යළිත් නිරාවරණය කර ඇත. අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය අවකාශයේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරිත්වය (IMA) ලෙස, මෙම සිදුවීම හරහා මතුවන බරපතල ප්‍රජාතන්ත්‍රවාදී අර්බුදය පිළිබඳව අපගේ දැඩි අවධානය යොමු වී ඇත.

හුදු සමාජ මාධ්‍ය සටහනක් පදනම් කරගනිමින්, කිසිදු සාක්ෂියක් නොමැතිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ පුද්ගලයෙකුගේ ජීවිතයෙන් වටිනා මාස 9ක් උදුරා ගැනීම අවාසනාවන්ත තත්ත්වයකි. නීතියේ නාමයෙන් සිදුකළ මෙම අත්තනෝමතික රඳවා තබා ගැනීම සහ ඒ වෙනුවෙන් ව්‍යාජ කරුණු ඉදිරිපත් කරමින් පොලිසිය සිදුකළ වෘත්තීය විරෝධී හැසිරීම නීතියේ ආධිපත්‍යයට එල්ල කළ මාරක පහරකි.

විශේෂයෙන්ම, PTA පනත අහෝසි කරන බවට ජනතාවට පොරොන්දු වෙමින් බලයට පත් වූ "මාලිමා" රජය යටතේම මෙම අත්අඩංගුවට ගැනීම සිදුවීම සහ එම පාලනය තුළම ඩිජිටල් අයිතිවාසිකම් පවා මර්දනය කරන 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත' (PSTA) වැනි මර්දනීය නව නීති කෙටුම්පත් ලෙස හෝ යෝජනා වීම තුළ රජයේ දේශපාලන හෘදසාක්ෂිය බරපතල ලෙස ප්‍රශ්න කෙරේ. එසේම පොලිස් නිලධාරියෙකු සමාව ගත් පමණින් හෝ පෞද්ගලිකව වන්දි ගෙවූ පමණින් රජය තම වගකීමෙන් නිදහස් නොවන අතර, විශේෂයෙන්ම ජනාධිපතිවරයාට මෙම වගකීමෙන් මිදිය නොහැකිය.

එබැවින්, අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරිත්වය ලෙස අප රජයට පහත කරුණු අවධාරණය කරමු:

PTA භාවිතය වහාම නතර කරනු: අදහස් ප්‍රකාශ කරන්නන් දඩයම් කිරීමට PTA භාවිත කිරීම වහාම නතර කර එම මර්දනීය පනත කොන්දේසි විරහිතව අහෝසි කළ යුතුය.

වගවීම තහවුරු කරනු: සුහෙල් අත්තනෝමතික ලෙස සිරගත කිරීමට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගත යුතුය.

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සුරකිනු: ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අයිතියක් වන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මර්දනය කිරීම සඳහා ගෙන එන සියලු නව පනත්, පනත් කෙටුම්පත් ඉවත් කරගත යුතුය.

පද්ධතිමය වෙනසක් ඇති කරනු: පොලිස් සේවය දේශපාලන අවශ්‍යතා මත නොව මානව හිමිකම් සහ ව්‍යවස්ථාපිත ප්‍රමිතීන් මත ක්‍රියාත්මක වන බවට වගබලා ගැනීමත්, ශ්‍රී ලංකා පොලීසිය ගැඹුරු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට යටත් කිරීමත් අත්‍යවශ්‍යය.

යුක්තිය ඉටු වීම යනු වරදක් වූ පසු ලැබෙන වන්දි මුදල පමණක් නොව, එවැනි වරදක් වීමට ඇති ඉඩකඩ නීතිමය වශයෙන් සහ පද්ධතිමය වශයෙන් සම්පූර්ණයෙන් අහුරා දැමීමයි.

සම්පත් සමරකෝන්

(කැදවුම්කරු) අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරිත්වය (IMA)