මෑන්පවර් ක්‍රමය අහෝසි කරනු - CMU

cmu

අපකීර්තිමත් මෑන් පවර් ක්‍රමය අහෝසි කර දමන ලෙස ඉල්ලා කම්කරු අමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් ලංකා වෙළඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමය (සීඑම්යූ) ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

පසුගිය නොවැම්බර් මස 07 වන දින පැවති ආණ්ඩු පක්ෂ වෘත්තීය සමිති සාමාජිකයින්ගේ රැස්වීමේදී, ලංකාවේ ක්‍රියාත්මක අපකීර්තිමත් මෑන් පවර් ආයතන හරහා සේවා ස්ථානයන් සහ කර්මාන්ත වලට සේවකයින් සපයන ක්‍රමය සම්පූර්ණයෙන්ම ඉවත් කර දැමීමට ඔබගේ ආණ්ඩුව තීරණය කර ඇති බව එම රැස්වීමේදී ඔබ ආණ්ඩුවේ ගරු වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රසිද්ධියේම ශපථ කළ බව වාර්තා වේ.

කලක් කම්කරුවන් වෙනුවෙන් පෙනී සි‌ටි වසන්ත සමරසිංහ මහතා හට මෙම මෑන් පවර් ක්‍රමයේ විපාක පිළිබඳ පැහැදිලි අව‌බෝධයක් ඇති බව අමුතුවෙන් කිවයුතු නැත.

මෙම ක්‍රමය අහෝසි කර දමන ලෙස අප සංගමය ඇතුළු වෘත්තීය සමිති විසින් පසුගිය කාලය පුරාම කරන ලද ඉල්ලීම ඉටු කිරීමට පසුගිය ආණ්ඩු සියල්ලක්ම අපොහොසත් වී ඇති තත්ත්වය මත, මෙම ක්‍රමය අහෝසි කර දැමීම සඳහා ඔබ ආණ්ඩුව ගෙන ඇති මෙම තීරණය පිළිබඳව අපගේ කෘතඥතාවය පළ කර සිටිමු.

ස්ථීර සේවාවන් සඳහා අවිනිශ්චිත සහ දෛනික පදනම මත සේවයට බඳවා ගන්නා මෙම සේවකයන්ට නීතිමය ප්‍රතිපාදන සහ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම අහිමි වී ඇති අතර මෙවැනි සේවකයින්ව හුදෙක්ම විකුණුම් භාණ්ඩ ලෙස සලකා අළෙවි කරන තත්ත්වයක් පුද්ගලික අංශයේ පමණක් නොව රාජ්‍ය, අර්ධ රාජ්‍ය ආයතන වල පවා සිදු වෙමින් පවතී.

මෙවැනි සේවකයින් සමහර ආයතන වල වසර 15 – 20 ට වැඩි කාලයක් මුළුල්ලේම සේවයේ යොදවා ඇති අතර, ඔවුන්ගේ දරිද්‍රතාවය සහ අසරණකම වාසියට ගනිමින් ඔවුන් නිදැල්ලේම සූරා කෑමට ලක් කර ඇති බව තහවුරු වී ඇත.

කරුණ මෙසේ හෙයින්, මෙම කරුණු සැලකිල්ලට ගනිමින් මෙම ක්‍රමය අහෝසි කර දැමීම සඳහා ඔබගේ ආණ්ඩුව රැගෙන ඇති තීරණය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image