ශ්‍රී ලංකාවේ වැඩකරන ජනතාවගේ විශාලතම සමාජ ආරක්ෂණ අරමුදල් ද්විත්වය වන සේවක අර්ථ සාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF) එක් තෛපාර්ශ්වික පාලන ව්‍යුහයක් යටතට ගෙන ඒමේ ප්‍රායෝගික ශක්‍යතාව අධ්‍යයනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරී කමිටුවක් පත් කිරීමට 2026 ජූනි 15 වන දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි විය.
මෙම කැබිනට් තීරණයත් සමග පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන් තුළ මේ සම්බන්ධයෙන් යම් කැළඹීමක් ඇති කර තිබේ. EPF අරමුදල සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටළු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට සහ තම විරෝධය පළ කිරීම සඳහා ස්වාධීන වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකතුව විසින් සංවිධානය කරන ලද මාධ්‍ය හමුවක් (4) දින කොළඹදී පවත්වන ලදී.
මෙහිදී නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් විසින් ප්‍රකාශ කර සිටියේ ලංකාවේ දැනට තියෙන ත්‍රෛපාර්ශවික සභාව වන ජාතික කම්කරු උපදේශක සභාවටත් නොකියා ඇමතිවරයා විසින් මෙම ත්‍රෛපාර්ශවික යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි.
මෙරට ලක්ෂ 80 කට අධික සමස්ත ශ්‍රම බලකාය අතුරින් ලක්ෂ 25 කට ආසන්න සංඛ්‍යාවක් නියෝජනය වන, රුපියල් ත්‍රිලියන 4.9 ක වටිනාකමකින් යුතු ලංකාවේ විශාලතම අරමුදල මුහුණ දී ඇති අවදානම් සහගත තත්ත්වය පිළිබඳව වෘත්තීය සමිති පාර්ශවයෙන් කරුණු පැහැදිලි කිරීම මෙම මාධ්‍ය හමුවේ ප්‍රධාන අරමුණ වූ බව හෙතෙම සඳහන් කළේය.
මීට පෙරද අවස්ථා කිහිපයකදී විවිධ වෙස්මුහුණු බැඳගනිමින් මෙම අරමුදල මංකොල්ල කෑමට උත්සාහ කළ බව මතක් කර දුන් ඇන්ටන් මාකස්, විශේෂයෙන්ම 2011 වසරේදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ පෞද්ගලික අංශයට විශ්‍රාම වැටුපක් ලබාදෙන මුවාවෙන් අරමුදලට අතතැබීමට දැරූ උත්සාහය පෙන්වා දුන්නේය.
එදා අරමුදල ආරක්ෂා කරගැනීම සඳහා වෘත්තීය සමිති පාරට බැස කළ අරගලය සිහිපත් කළ ඇන්ටන් මාකස්, 2011 මැයි 24 වන දින වෘත්තීය සමිති එක්ව ජාතික විරෝධතා දිනයක් ප්‍රකාශයට පත්කරමින් කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කම්කරුවන් දවස පුරා දැවැන්ත විරෝධතාවක නිරත වූ බව ප්‍රකාශ කළේය. එම ප්‍රබල විරෝධතාවල ප්‍රතිඵලයක් ලෙස මැයි 26 වන විට අදාළ යෝජනාව හකුලා ගැනීමට කැබිනට් මණ්ඩලයට සිදු වූ බවද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.
පැවැති විරෝධතාවලට පලිගැනීමක් ලෙස මැයි 30 වන දින පොලීසිය යොදවා කටුනායක වෙළඳ කලාපයේ සේවක සේවිකාවන්ට නැවත පොලිස් ප්‍රහාරයක් එල්ල කළ බවත්, එහි ඛේදනීය ප්‍රතිඵලයක් ලෙස රොෂේන් චානක තරුණයා ඝාතනය වූ බවත් ඔහු මතක් කර සිටියේය.
එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව EPF අරමුදල මංකොල්ල කන්න මේ දේවල් කරපු වෙලාවේ අපිත් එක්ක පාරට බැහැලා හිටපු සහෝදරවරු, දැන් ඒ සහෝදරවරු හදපු ආණ්ඩුව, ඒ සහෝදරවරු ඇමතිවරු වෙලා තියෙන ආණ්ඩුව, දැන් ඒ අරමුදල වෙනස් විදියකට මංකොල්ල කන්න හදනවා.
මේ ආණ්ඩුව කණකොකා හඬවන්න හදන්නේ සේවක අර්ථසාධක අරමුදලට විතරක් නෙමෙයි, සේවක භාරකාර අරමුදලත් මේකට එකතු කරලා, මේ අරමුදල් දෙකම කළමනාකරණය කිරීම සඳහා ත්‍රයිපාර්ශ්වික ක්‍රමයක් හඳුන්වලා දෙනවා කියලා තමයි මැයි 16 වෙනිදා කම්කරු ඇමති මේ අමාත්‍ය මණ්ඩලයේ ඉදිරිපත් කරපු යෝජනාවේ තියෙන්නේ.
මේක ඉදිරිපත් කරන්න සතියකට ඉස්සෙල්ලා අපි ඇමතිවරයාත් එක්ක ජාතික කම්කරු උපදේශක සභාව රැස්වීමේදී, සේවක අර්ථසාධක අරමුදලේ මහ බැංකුවේ නිලධාරීන් ඇවිල්ලා අපිට ප්‍රසන්ටේෂන් එකක් කෙරුවා. ඒ කොහිම අවස්ථාවකවත් ඇමතිවරයා කිව්වේ නැහැ මෙහෙම යෝජනාවක් ගේනවා කියලා.
නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් සඳහන් කළේ, අදාළ කැබිනට් යෝජනාව සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් සහ එළඹෙන 07 වන දා පැවැත්වෙන NLAC රැස්වීමට ඉදිරිපත් කරන නිශ්චිත යෝජනාව කුමක්දැයි ලිඛිතව විමසා සිටියද, කම්කරු ඇමතිවරයාගෙන් ඊට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි.
ඇමතිවරයා සහ නියෝජ්‍ය ඇමතිවරයා මාධ්‍ය හමුවේ සහ පාර්ලිමේන්තුවේදී එකිනෙකට පරස්පර ප්‍රකාශ සිදුකරමින් සිටින බවත්, අමාත්‍ය මණ්ඩල තීරණයේ පැහැදිලිවම සඳහන් වන්නේ මෙම අරමුදල් දෙක එකතු කිරීම පිළිබඳ නිර්දේශ ගැනීමට කමිටුවක් පත් කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.
අරමුදල් දෙක එකට ඒකාබද්ධ කිරීම “තෙලුයි වතුරයි එකතු කරනවා වැනි වැඩක්”
මෙම අරමුදල් දෙක එකට ඒකාබද්ධ කිරීම “තෙලුයි වතුරයි එකතු කරනවා වැනි වැඩක්” ලෙස හඳුන්වා දුන් වෘත්තීය සමිති නායකයා, ETF යනු සේවක ප්‍රතිලාභ ලබා දෙන අරමුදලක් බවත්, EPF යනු විශ්‍රාම යාමේදී හිමිවන අරමුදලක් බවත් පෙන්වා දුන්නේය. ත්‍රෛපාර්ශ්වික කළමනාකරණය යනු ප්‍රතිපත්තිමය තීරණ ගන්නා ක්‍රමවේදයක් මිස මුදල් පාලනය කරන ක්‍රමයක් නොවන බවත්, මෙය අරමුදල සේවා යෝජකයන්ට භාරදී විනාශ කිරීමට දරන උත්සාහයක් බවත් හෙතෙම චෝදනා කළේය.
මහ බැංකුවේ භාරකාරත්වය යටතේ පවතින මෙම අරමුදල කම්කරු නියෝජිතයන්ගේ අධීක්ෂණයට ලක් කිරීම පමණක් ප්‍රමාණවත් බවත්, වෙනත් කිසිදු වෙනස්කමකට එකඟ නොවන බවත් ඔහු අවධාරණය කර සිටියේය.
මේ වන විට වෘත්තීය සමිති 14 ක් එක්ව සාකච්ඡා පවත්වා පොදු එකඟතාවයකට පැමිණ ඇති අතර, ලක්ෂ 25 ක් වන සේවකයන් පෙළගස්වමින් 2011 වසරේදී මෙන්ම මෙම යෝජනාවද මහපොළොවේදී සම්පූර්ණයෙන්ම පරාජය කිරීමට ඉදිරියේදී කටයුතු කිරීමට වෘත්තීය සමිති එකඟ වී ඇති බව ද ඔහු පැවසිය.
|කල්ප මදුරංග (whatsnews)
