රජයේ වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් - GMOA

gmoa-strike

වෘත්තිය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වන අතරේදී වුව ද, මෙම ගැටලු සාකච්ඡාවෙන් විසදා ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අඛණ්ඩව සූදානමින් සිටියද රජය තම සුපුරුදු උද්දච්ච ස්වරූපයෙන් කටයුතු කරමින් ගැටලු විසඳීම පසෙක තබා, මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ මෙරට වෛද්‍යවරුන්ට අවලාද, අපවාද සහ බොරු චෝදනා එල්ල කරමින් කටයුතු කිරීම කිසිසේත් පිළිගත හැකි තත්ත්වයක් පවතින නිසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තම වෘත්තීය ක්‍රියාමාර්ග ඉදිරයටත් ක්‍රියාත්මක කරන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,  

රෝහල් පද්ධතිය මුහුණ දී ඇති ගැටළු විසඳමින් නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම ඕනෑම රජයක ප්‍රමුඛතම වගකීමක් වුවද, වත්මන් රජය හිතාමතාම එම වගකීම පැහැර හරිමින් කටයුතු කිරීමට උත්සාහ කරන බව නිරීක්ෂණය වේ.

වෛද්‍යවරුන්ගේ සහ රෝහල් පද්ධතියේ ගැටලු විසඳීම සඳහා ලබාදුන් ලිඛිත එකඟතා උල්ලංඝනය කිරීම හේතුවෙන්, වෘත්තිය ක්‍රියාමාර්ග මාලාවකට එළඹීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කරන ලද අතර මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයන් පදනම් වූ ප්‍රධාන ඉල්ලීම් වනුයේ,

1.            සියලු කාණ්ඩවල වෛද්‍යවරුන් ඇතුළත් කර ගනිමින් “ශ්‍රී ලංකා වෛද්‍ය සේවය” නමින් සුවිශේෂී සේවා කාණ්ඩයක් බිහිකිරීම සඳහා සියලු පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් සහ එකඟතාවයෙන් කෙටුම්පත් කර ඇති කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලබා ගෙන ඉදිරි කටයුතු සිදු කිරීම.

2.            වෛද්‍යවරුන්ගේ DAT දීමනාව යාවත්කාලීන කිරීම

3.            22/99 චක්‍රලේඛයට අනුකූලව ප්‍රවාහන ගැටලු විසඳිම

4.            අමතර රාජකාරි දීමනාව ස්ථාවර දීමනාවක් බවට පත් කිරීම

5.            පර්යේෂණ දීමනාවේ ගැටලු විසඳිම

6.            පශ්චාත් උපාධි අධ්‍යයනයේ යෙදෙන වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීම

7.            සෞඛ්‍ය පද්ධතියේ අනුමත වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව යාවත්කාලීන කිරීම

8.            ඉහත ගැටලු කාල රාමුවක් සහිතව විසඳිම සඳහා මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා ආරම්භ කිරීම

මෙම ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම සඳහා රජය, සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු වගකිවයුතු පාර්ශවයන්ට ඕනෑ තරම් කාලයක් ලබා දී තිබුණ ද, විසඳුම් ලබාදීම සඳහා එම පාර්ශවයන් කිසිදු සාධනීය හෝ අවංක මැදිහත්වීමක් සිදු නොකරන පසුබිමක අඛණ්ඩ දීප ව්‍යාප්ත වෘත්තිය ක්‍රියාමාර්ග හතක් ප්‍රකාශයට පත් කර ක්‍රියාත්මක වෙමින් පවති. 

1.            රෝහල තුල නොමැති ඖෂධ සහ උපකරණ බාහිරින් ලබා ගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කර තුණ්ඩු නිකුත් කිරීම අත්හිටුවීම.

2.            රෝහල තුල නොමැති රසායනාගාර පරීක්ෂණ බාහිරින් සිදු කරගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කර තුණ්ඩු නිකුත් කිරීම අත්හිටුවීම.

3.            දේශපාලන කණ්ඩායම් විසින් සංවිධානය කරනු ලබන සෞඛ්‍ය කදවුරු සහ සායන සඳහා ස්වෙච්ඡාවෙන් සහභාගිවිමෙන් ඉවත් වීම.

4.            අනුමත වෛද්‍යවරුන් සංඛ්‍යාව නොමැතිව රෝහල් පද්ධතිය තුල විවෘත කරන නව රෝහල් වාට්ටු සහ ඒකක වලට වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම අත්හිටුවීම.

5.            රෝගීන්ගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය සුරැකීමට අවශ්‍ය ප්‍රමාණවත් පහසුකම් සහ සහායක කාර්යමණ්ඩලය නොමැතිව රෝගීන් පරීක්ෂා කිරීමෙන් ඉවත් වීම.

6.            සියලු විශේෂඥ වෛද්‍යවරුන් තම ආවරණ රාජකාරි වලින් ඉවත් වීම. 

7.            සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සහ ඍජු අධික්ෂණයෙන් සිදු වන ප්‍රජා සෞඛ්‍ය පිලිබඳ නිල දත්ත සෞඛ්‍ය අමාත්‍යංශයට සහ අදාල කාර්යාල සඳහා ලබා දීමෙන් ඉවත් වීමට තීරණය කරන ලදී.

මෙම වෘත්තිය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වන අතරේදී වුව ද, මෙම ගැටලු සාකච්ඡාවෙන් විසදා ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අඛණ්ඩව සූදානමින් සිටියද රජය තම සුපුරුදු උද්දච්ච ස්වරූපයෙන් කටයුතු කරමින් ගැටලු විසඳීම පසෙක තබා, මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ මෙරට වෛද්‍යවරුන්ට අවලාද, අපවාද සහ බොරු චෝදනා එල්ල කරමින් කටයුතු කිරීම කිසිසේත් පිළිගත හැකි තත්ත්වයක් නොවේ.

එවන් උද්ධච්ච සහ අපරිණත හැසිරීම් මගින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පමණක් නොව කිසිදු ක්ෂේත්‍රයක කිසිදු ගැටලුවක් නොවිසඳෙන බව වගකිව යුත්තන් තරයේ අවබෝධ කර ගත යුතුය.

ආණ්ඩුව උද්ධච්ච ස්වරූපය ඇතුළු පවතින ප්‍රවණතාවයන් සහ වර්ධනයන්, පසුගිය 2026.02.25 වැනි දින පැවති  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී දැඩි සැලකිල්ලට සහ සාකච්ඡාවට බඳුන් විය. සාකච්ඡාවෙන් ගැටලු විසඳීම සඳහා රජය නම්‍යශීලි නොවන පසුබිමක, දැනට ක්‍රියාත්මක වෘත්තිය ක්‍රියාමාර්ග මාලාව තවත් තිව්‍ර සහ ශක්තිමත් කළ යුතු බව මධ්‍යම කාරක සභාවේ ඒකමතික තීරණය විය. ඒ අනුව පහත තීරණ වලට එළඹෙන ලදී.

1.            මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතින දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ග 07, අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යෑම.

‍ය         අදාල පාර්ශවයන් සමග සාකච්ඡා කිරීමකින් තොරව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ආරෝග්‍යා මධ්‍යස්ථාන සහ එම ව්‍යාපෘතීන්ට සහභාගි වීමෙන් ඉවත්වීම.

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයක් ලෙස, “ආරෝග්‍යා” ව්‍යාපෘතිය ආරම්භයේදී හඳුන්වා දුන්නද, මේ වන විට එය සෞඛ්‍ය අමාත්‍යාංශයට මුවා වී සෞඛ්‍ය අමාත්‍යංශයේ මානව සහ භෞතික සම්පත් යොදා ගනිමින් ආණ්ඩුව මගින් සිදු කරන දේශපාලන ව්‍යාපෘතියක් බවට පරිවර්තනය වෙමින් පවතී. ව්‍යාපෘතියේ අරමුණුු කුමක්ද, අරමුදල් ලැබෙන්නේ කෙසේද, යෝජිත ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මොනවාද, ඒ වෙනුවෙන් මානව සම්පත යොදා ගන්නේ කෙසේද ආදී කරුණු සම්බන්ධයෙන් කිසිදු පැහැදිලි කිරීමක් නොමැති අතර මේ පිළිබඳ සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයාගන් අවස්ථා කීපයකදී සාකච්ඡාවෙන් ඉල්ලා සිටියද, මෙතෙක් සාකච්ඡාවන් ලබාදී නොමැත.

ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බාහිර සෞඛ්‍ය සායන සහ සෞඛ්‍ය කඳවුරු ඇතුළු සියලු ව්‍යාපෘති මේ වන විට “ආරෝග්‍යා” නමින් නම් කරමින් තිබෙන අතර පැහැදිලිව මෙය සෞඛ්‍ය අමාත්‍යංශයේ භෞතික සම්පත් සහ මානව සම්පත් යොදා ගනිමින්, මහජන බදු මුදල් භාවිතා කරමින් සිදුකරන හුදු දේශපාලන සංදර්ශනාත්මක ව්‍යාපෘතියක් බවට පත්වෙමින් පවතී.

ඒ අනුව ආරෝග්‍යා ව්‍යාපෘතියෙන්, එළඹෙන 2026.03.02 වන සඳුදා සිට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජිකයින් වෘත්තිය ක්‍රියාමාර්ගයක් ලෙස ඉවත්වනු ඇත.

3.            ප්‍රාථමික සෞඛ්‍ය සේවයේ ගැටලු හඳුනා ගනිමින් එම ගැටලු සදහා අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීමට ක්‍රියාකාරි කමිටුවක් පත් කිරීම.

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවය මූලික පහසුකම් නොමැතිව, ගැටළු ගණනාවක් සමගින් වුවද අඛණ්ඩව විශාල සෞඛ්‍ය සේවාවන් ප්‍රමාණයක් සපයමින් සිටී.

මෙම ගැටලු සහ පහසුකම් නොමැතිවීම  පිළිබඳ අධ්‍යයනය කරමින් ඊට අනුරූපව සපයන සෞඛ්‍ය සේවාවන් පිළිබඳ තීරණය  කිරීම සඳහා මධ්‍යම කාරක සභාව විසින් විශේෂ කමිටුවක් පත් කරන ලදී.

එම කමිටු වාර්තාව සති දෙකකින් විධායක සභාවට ලබා දීමට නියමිත අතර ඒ අනුව ප්‍රාථමික සෞඛ්‍ය සේවයේ රෝගී සත්කාර සේවාවන් පවත්වා ගැනීම පිළිබඳ ඉදිරි තීරණ ගැනීමට නියමිතය.

මෙම වෘත්තීය ක්‍රියා මාර්ග අතරදී වුවද, සාකච්ඡා මාර්ගයෙන් ජනාධිපතිතුමා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු වගකිව යුත්තන් සමග ගැටළු විසඳාගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සූදානම් අතර, නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීමේ වගකීමෙන් ආණ්ඩුව පැන යන්නේ නම්, සෞඛ්‍ය සේවාවට සම්බන්ධ සියලු පාර්ශවයන් එක් කරගනිමින් නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීම වෙනුවෙන් පුලුල් සහ ඒකාබද්ධ වැඩපිළිවෙලක් දියත් කිරීමට පසුබට නොවන බව ද අවධාරණය කරමු.