මෙවර අයවැයට GMOA රජයට උපායමාර්ගික යෝජනා ඉදිරිපත් කරයි

budget-2027-gmoa

නිදහස් සෞඛ්‍ය සේවාව සුරැකීම සඳහා 2027 අයවැයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙතින් උපායමාර්ගික යෝජනා රජයට නිලවශයෙන් ඉදිරිපත් කළ බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

රජය වෙත ඉදිරිපත් කර ඇති යෝජනා පහතින් දැක්වේ

ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වය කරා ගමන් කරමින් සිටින වත්මන් අවස්ථාවේදී, රටේ නිදහස් සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම, වෛද්‍ය වෘත්තිකයන් රට තුළ රඳවා ගැනීම සහ සෞඛ්‍ය පද්ධතියේ ගුණාත්මකභාවය හා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම අරමුණු කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  විසින් 2027 අයවැය සඳහා වූ සිය යෝජනා මුදල් අමාත්‍යාංශය වෙත නිල වශයෙන් ඉදිරිපත් කර ඇත.

මෙම යෝජනා හුදෙක් වැටුප් හා දීමනා සම්බන්ධ ඉල්ලීම් මාලාවක් නොවන අතර, වෛද්‍ය වෘත්තිකයන්ගේ රට හැර යාම අවම කිරීම, රෝහල් යටිතල පහසුකම් නවීකරණය කිරීම, රාජ්‍ය සෞඛ්‍ය සේවයේ සේවා පරිසරය වැඩිදියුණු කිරීම සහ සියලු පුරවැසියන් සඳහා නොමිලේ සෞඛ්‍ය සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඉදිරිපත් කළ සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළකි.

1. මානව සම්පත් ස්ථාවරත්වය සහ වැටුප් අයිතිවාසිකම් සුරැකීම.

වර්තමානයේ පවතින දැඩි ආර්ථික පීඩනය, සැබෑ ආදායමේ පහත වැටීම සහ වැටුප් හා දීමනා ක්‍රමයේ පවතින අසමානතා හේතුවෙන් විශේෂයෙන්ම පුහුණු හා පළපුරුදු වෛද්‍ය වෘත්තිකයන් විශාල සංඛ්‍යාවක් විදේශගත වීමේ ප්‍රවණතාවක් පවතී. එම තත්ත්වය රාජ්‍ය සෞඛ්‍ය සේවාවේ අඛණ්ඩතාවයට දැඩි බලපෑමක් එල්ල කරයි.

මෙයට විසඳුමක් ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින්,

මෙතෙක් ගෙවීම් සිදු නොකළ 1/3 ක හිඟ අමතර සේවා (Extra Duty – ED) දීමනාව සහ රජයේ නිවාඩු දින දීමනා සම්පූර්ණයෙන් ගෙවා, සමුච්චිත හිඟ ගෙවීම් පියවීම.

අමතර සේවා දීමනාව ගණනය කිරීමේ හා හිමිකම් ඉදිරිපත් කිරීමේ සංකීර්ණ ක්‍රමවේද වෙනුවට, මාසිකව පැය 120 ක ස්ථාවර අමතර සේවා දීමනාවක් වැටුප් ව්‍යුහයට ඇතුළත් කිරීම.

DAT දීමනාව (Disturbance, Availability and Transport) නියමිත සූත්‍රය අනුව සංශෝධනය කර, එය වාර්ෂිකව යාවත්කාලීන කිරීම.

වෛද්‍යවරුන් මුහුණදෙන අවදානම් (උදාහරණ ලෙස ජෛව, රසායනික, විකිරණ සහ මානසික අවදානම් ප්‍රධාන අනිකුත් අවදානම් තත්ත්වයන්) සැලකිල්ලට ගනිමින් මූලික වැටුපෙන් 15% ක අවදානම් දීමනාවක් (Risk Allowance) ඒ වෙනුවෙන් හඳුන්වා දීම.

ශ්‍රී ලංකා වෛද්‍ය සේවයක් (Sri Lankan Medical Service) ස්ථාපිත කිරීම. ප්‍රාථමික ශ්‍රේණිය (Preliminary Grade) ඉවත් කර අධිශ්‍රේණියක් (Supra Grade) හඳුන්වා දෙමින් වෛද්‍ය සේවය සඳහා ඒකාබද්ධ වෘත්තීය හා වැටුප් ව්‍යුහයක් ඇති කිරීම.

විදේශගතව පශ්චාත් උපාධි පුහුණුව ලබන වෛද්‍යවරුන් සඳහා ලබාදෙන ජීවන වියදම් දීමනා, අදාළ රටවල ජීවන වියදම් මට්ටමට සාපේක්ෂව සහ විදේශ විනිමය අනුපාතවල වෙනස්කම් සැලකිල්ලට ගනිමින් සංශෝධනය කිරීම.

යන යෝජනා ඉදිරිපත් කර ඇත.

2. සේවා පහසුකම්, සේවා පරිසරය සහ ප්‍රවාහන පහසුකම්.

පැය 24 පුරා අඛණ්ඩව සෞඛ්‍ය සේවා සැපයීම සඳහා වෛද්‍යවරුන්ට සුදුසු සේවා පරිසරයක් සහ අවශ්‍ය පහසුකම් සැපයීම අත්‍යවශ්‍ය වේ.

ඒ අනුව,

නිවාස, අධ්‍යාපන සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා රජය මැදිහත් වීම තුල අඩු පොලී ණය පහසුකම් ලබාදීම.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/99 මඟින් ලබාදෙන ප්‍රවාහන පහසුකම් ලැබීම සඳහා වෛද්‍යවරුන් ද සුදුසුකම් සපුරන බැවින් ඒ සඳහා ඔවුන් අන්තර්ග්‍රහණය කිරීම.

පවතින තිරු බදු සහනය සහිත වාහන බලපත්‍ර ලබා දීමේ ක්‍රමය, වඩා නවීකරණය කරන ලද සහනදායී ක්‍රමයක් ලෙස වැඩි දියුණු කිරීම.

වෛද්‍ය නිල නිවාසවල තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා කඩිනම් ප්‍රාග්ධන ආයෝජන සිදු කිරීම.

නව වෛද්‍ය පර්යේෂණ දිරිගැන්වීම සඳහා පර්යේෂණ දීමනාව මූලික වැටුපෙන් 35% දක්වා නැවත ස්ථාපිත කිරීම සහ ජාතික සෞඛ්‍ය පර්යේෂණ සඳහා ආරම්භක අරමුදලක් ස්ථාපිත කිරීම.

යන යෝජනාද ඉදිරිපත් කර ඇත.

3. සාධාරණ බදු ප්‍රතිපත්තියක්.

වැටුප් ලබන වෘත්තිකයන් මත පවතින බදු බර සාධාරණ මට්ටමකට ගෙන ඒම සඳහා, රැකියා ආදායම ව්‍යාපාරික ලාභයෙන් වෙන්කර සැලකිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස අප අවධාරණය කර සිටියි.

ඒ අනුව,

DAT දීමනාව බදු ව්‍යුහයෙන් නිදහස් කරමින් මුල්‍යමය නොවන ප්‍රතිලාභයක් ලෙස සැලකීම.

අමතර සේවා දීමනාව ආදායම් බද්දෙන් නිදහස් කිරීම.

වාර්ෂික බදු නිදහස් සීමාව රුපියල් මිලියන 2.4 ක් දක්වා ඉහළ නැංවීම.

මාසිකව රුපියල් 50,000 ක බදු සහනයක් ලබාදීම.

උපරිම ආන්තික බදු අනුපාතය 5% – 30% අතර සීමා කිරීම සහ බදු පරාස පුළුල් කිරීම.

යන යෝජනා ඉදිරිපත් කර ඇත.

4. සියලු වෛද්‍ය කාණ්ඩ සඳහා සාධාරණ සහ ඉලක්කගත සහාය.

විශේෂඥ වෛද්‍ය නිලධාරීන් මුහුණදෙන දැඩි පුරප්පාඩු සහ වැඩිවන සේවා ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් වෘත්තීමය කැපවීම, ආවරණ රාජකාරි, වැඩබැලීමේ රාජකාරි සහ ශාස්ත්‍රිය දීමනා (Academic Allowances) වැනි ඉලක්කගත දීමනා හඳුන්වාදීමේ කාලීන අවශ්‍යතාවය අප විසින් පෙන්වා දී ඇත.

එමෙන්ම, ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන් සඳහා වැඩිවන රෝගී සංඛ්‍යාව, අධික සේවා ප්‍රමාණය සහ වෘත්තීයමය මානසික වෙහෙස සැලකිල්ලට ගනිමින් වෘත්තීය හා සායනික කාර්යභාර දීමනාව (Professional & Clinical Burden Allowance - PCBA) නමින් විශේෂ දීමනාවක් ස්ථාපිත කිරීමේ යෝජනාවද ඉදිරිපත් කර ඇත.

තවද, පෞද්ගලික වෛද්‍ය සේවයේ නිරත නොවී රාජ්‍ය සේවයට පූර්ණ කාලීනව කැපවන පරිපාලන වෛද්‍ය නිලධාරීන් සඳහා ලබාදෙන විශේෂිත පුද්ගලික වෛද්‍ය වෘත්තියේ නොයෙදීමේ දීමනාව (Non-Practicing Allowance) සංශෝධනය කර යාවත්කාලීන කිරීමද යෝජනා කර ඇත.

5. සෞඛ්‍ය සේවාව රටේ ආර්ථික වර්ධනයේ ප්‍රධාන අංගයක් බවට පත් කිරීම.

සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා සිදුකරන ආයෝජනයක් යනු රටේ මානව ප්‍රාග්ධනය සඳහා සිදුකරන ආයෝජනයකි.

එමෙන්ම, සෞඛ්‍ය සේවාව රටට විදේශ විනිමය විශාල වශයෙන් උපයාදෙන ක්ෂේත්‍රයක් බවට පත් කිරීමේ හැකියාවද පවතී. ඒ සඳහා,

රජයේ අනුග්‍රහය යටතේ විදේශ සංචාරකයින් සඳහා වූ වෛද්‍ය සංචාරක කර්මාන්තය (Medical Tourism) සඳහා වූ විශිෂ්ටතා මධ්‍යස්ථාන (Centers of Excellence) ස්ථාපිත කිරීම.

විදේශගතව සේවය කරන වෛද්‍යවරුන් සඳහා විධිමත් විදේශ රැකියා සඳහා විශේෂ නිවාඩු ක්‍රමවේදයක් (Sabbatical Overseas Employment Leave Scheme) හඳුන්වාදී, ඔවුන් උපයන විදේශ විනිමය රට තුළට ගෙන ඒම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම.

සායනික සංචාරක වෛද්‍ය විද්‍යාව (Clinical Travel Medicine) පශ්චාත් උපාධි විෂය ක්ෂේත්‍රයක් ලෙස ස්ථාපිත කිරීම.

වැනි නව ප්‍රතිපත්තිමය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මගින් සෞඛ්‍ය සේවාව රටේ ආර්ථිකයට දායක වන ප්‍රධාන ක්ෂේත්‍රයක් බවට පත් කළ හැකි බව අපගේ දැක්මයි.

නිදහස් සෞඛ්‍ය සේවාව සුරැකීම ජාතික වගකීමකි. එබැවින්, වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් රට තුළ රඳවා ගැනීමටත්, රෝහල් පද්ධතියේ යටිතල පහසුකම් හා සේවා පරිසරය වැඩිදියුණු කිරීමටත්, රාජ්‍ය සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය සහ අඛණ්ඩතාව තහවුරු කිරීමටත් කඩිනම් ප්‍රතිපත්තිමය මැදිහත්වීම් අවශ්‍ය වේ.

2027 අයවැය මගින් මෙම යෝජනා සැලකිල්ලට ගෙන ක්‍රියාත්මක කිරීම තුළින් රාජ්‍ය සෞඛ්‍ය සේවයේ ස්ථාවරත්වය, වෛද්‍ය වෘත්තිකයන්ගේ වෘත්තීය ගෞරවය සහ ජනතාවට ලබාදෙන නිදහස් සෞඛ්‍ය සේවාවේ විශිෂ්ටත්වය තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අපේක්ෂා කරයි.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image