රටේ වටිනාම සම්පත වන බුද්ධිමය ශ්‍රමය ආරක්ෂා කර ගනිමින් අනාගත දැනුම කේන්ද්‍රිය ලෝකය ජය ගැනීම උදෙසා මෙරට වෛද්‍යවරුන් ඇතුලු වෘත්තීයවේදින්ට සාධාරණ බදු ප්‍රතිපත්තියක් හදුන්වා දීම සදහා වහාම ක්‍රියාත්මක විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,
2022 වර්ෂයේ මෙරට මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සිදු කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ වල ප්‍රධාන ඉලක්කයක් බවට පත් වුයේ මෙරට රාජ්‍ය ආදායම් සහ බදු ආදායම් ඉහළ නැංවීමයි.
ඒ අනුව 2023 ජනවාරි 1 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නව බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන ලද අතර එම බදු ප්‍රතිපත්තිය හේතුවෙන් වැඩියෙන්ම පිඩාවට පත් වූයේ වෛද්‍යවරුන් ඇතුලු වෘත්තීයවේදින්ය.
විශේෂයෙන් එවකට හඳුන්වා දුන් උපයන විට ගෙවීමේ බදු ප්‍රතිපත්තිය හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුලු සමස්ත වෘත්තීයවේදින්ගේ සහ සේවා නියුක්තිකයින්ගේ මුලු වැටුපටම බදු අය කිරීමට කටයුතු කරන ලදී. ව්‍යාපාරිකයින්ගේ ලාභයට පමණක් බදු අය කරන පසුබිමක සේවා නියුක්තිකයින්ගේ සමස්ත වැටුපටම බදු අයකිරීම අතිශයින් අසාධාරණ තත්ත්වයක් නිර්මාණය කරන ලදී.
ආර්ථික අර්බුදයේ පීඩනයට අමතරව පනවන ලද ඉතා අධික බදු බර හේතුවෙන් අවසානයේ මෙරටට විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු වෛද්‍යවරුන් දහස් සංඛ්‍යාත පිරිසක් අහිමි විය. 2021/2022 වර්ෂයෙන් පසු මෙරට අතහැර ගිය විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 2500 කට අධික අතර එයට බලපාන ප්‍රධානතම හේතුවක් බවට පත් වුයේ ක්‍රියාත්මක කරන ලද අසාධාරණ හා පීඩාකාරි බදු ප්‍රතිපත්තියයි.
වැටුප මෙන්ම ප්‍රවාහන ඇතුලු ඇතැම් දීමනා ද වසර ගණනාවකින් යාවත්කාලීන නොවූ පසුබිමක සහ වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි දීමනා සහ නිවාඩු දින ගෙවීම් වලින් 1/3 ක් කප්පාදු කල පසුබිමක තවමත් වෛද්‍යවරුන් මත පටවා තිබෙන මෙම බදු බර තුලින් අවසානයේ සිදු වනුයේ දක්ෂ විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් දිගින් දිගටම මෙරටට අහිමි වීම පමණි.
2022 වර්ෂයේ සිටම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනිකුත් සියලුම වෘත්තීයවේදින් සමඟ එක්ව ලංකාව තුල සාධාරණ සහ පාරදෘශ්‍ය බදු ප්‍රතිපත්තියක් ස්ථානය කිරීම වෙනුවෙන් අඛණ්ඩ අරගලයක යෙදි සිටියි.
බදු නිදහස් ආදායම් සීමාවේ බදු ප්‍රතිශයන්හි සහ බදු අය කරන ආදායම් කාණ්ඩයන්හි සාධාරණ සංශෝධන හරහා ගෙවිය හැකි බදු මුදලක් සහ සාධාරණ බදු ප්‍රතිපත්තියක් වෛද්‍යවරුන් ප්‍රමුඛ මෙරට වෘත්තීයවේදින් සහ සේවා නියුක්තිකයින්ට හදුන්වා දිය යුතු බව අපගේ විශ්වාසයයි.
මේ සදහා වන විශ්ලේෂණාත්මක යෝජනා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස තනිව මෙන්ම අනිකුත් වෘත්තීය කණ්ඩායම් සමඟ එක්වද සියලු බලධාරින් හට ලබා දීමට කටයුතු කර ඇත.
එම ඉල්ලීම් වලට අනුව පසුගිය අයවැයේදි උපයන විට ගෙවීම් බදු ප්‍රතිපත්තියේ යම් සංශෝධනයක් වත්මන් ආණ්ඩුව සිදු කල ද පවතින ආර්ථික වපසරියත්, ඉන්ධන සහ ප්‍රවාහන වියදම් මෙන්ම ණය පොලි අනුපාතිකයන් සමඟ සංසන්දනය කිරීමේදි එම බදු සංශෝධනයන් හරහා ලැබුණු ප්‍රතිලාභය ප්‍රමාණවත් නොවන බව වෘත්තීයවේදින්ගේ හැඟිමයි.
ස්වකීය වැටුපෙන් 36% කට ආසන්න ප්‍රමාණයක් ඍජු බදු ලෙස ගෙවන අතරතුරදි, වක්‍ර බදු ලෙසද විශාල බදු ප්‍රමාණයක් ගෙවීමට සිදු වීම තුල වත්මන් බදු ප්‍රතිපත්තිය තුල මෙරට වෛද්‍යවරුන් ඇතුලු වෘත්තීයවේදින් මුහුණ පා ඇති ඛේදනීය අර්බුදය මනාව ඉස්මතු කරයි.
රට තුල පැවති ආර්ථික අර්බුදය සමනය වෙමින් දේශීය ආර්ථිකය යම් ස්ථාවරයකට පත් වෙන පසුබිමක අර්බුද සමයේදි ආර්ථිකය නංවාලීම වෙනුවෙන් තම වගකීම ඉටු කරන ලද වෛද්‍යවරුන් ඇතුලු වෘත්තීයවේදීන්ට සාධාරණයක් ඉටු විය යුතු බව අප දැඩි සේ විශ්වාස කරමු.
පසුගිය වසරේ බදු ආදායම රු. බිලියන 5400 ඉක්මවා ගිය අතර එය ඉතිහාසයේ ඉහළම බදු ආදායමයි. එමෙන්ම උපයන විට බදු ගෙවීමේ ක්‍රමවේදයේ යම් සංශෝධනයක් සහ සහනයක් ලබා දී තිබියදිත් 2025 වර්ෂයේ සමස්ත උපයන විට ගෙවීමේ බදු ආදායම අපේක්ෂිත ප්‍රමාණයට වඩා 30% කට වඩා වැඩි ප්‍රමාණයකින් ලැබි තිබිම සුවිශේෂි කරුණකි.
ඉතිහාසයේ දුෂ්කරතම මොහොතේදි තම පටි තද කරගනිමින් රට වෙනුවෙන් වගකීම සහ යුතුකම ඉටු කරන ලද වෛද්‍යවරුන් ඇතුලු වෘත්තීයවේදින්ට වහාම බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සහනයක් සහ සාධාරණයක් ලැබිය යුතු බව අපගේ විශ්වාසයයි.
රජය විසින් පසුගිය සමයේදි උපයා ගත් බදු ආදායම් සංඛ්‍යා ලේඛන සංසන්දනය කිරීමේදි ඒ සදහා ඕනෑ තරම් අවස්ථාව ඇති බව මැනවින් තහවුරු වේ.
සමස්ත බදු ආදායමට හානියක් නොවන පරිදි වෛද්‍යවරුන් ඇතුලු වෘත්තීයවේදින්ට සාධාරණය බදු ප්‍රතිපත්තියක් හදුන්වා දීම සදහා වූ විද්‍යාත්මක සහ විශ්ලේෂණාත්මක යෝජනා මෙවර අයවැය වෙනුවෙන් ජනාධිපතිතුමන් වෙත ලබා දීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද කටයුතු කර ඇත.
රටේ වටිනාම සම්පත වන බුද්ධිමය ශ්‍රමය ආරක්ෂා කර ගනිමින් අනාගත දැනුම කේන්ද්‍රිය ලෝකය ජය ගැනීම උදෙසා මෙරට වෛද්‍යවරුන් ඇතුලු වෘත්තීයවේදින්ට සාධාරණ බදු ප්‍රතිපත්තියක් හදුන්වා දීම සදහා මේ මොහොතේ වහාම ක්‍රියාත්මක විය යුතුයි.
දැනුම කේන්ද්‍රිය ආර්ථිකයක් සහ අනාගතයක් වෙනුවෙන් ස්වකීය රාජ්‍යයන් දැනුමෙන් සන්නද්ධ කරමින් ලෝකය තම බල කදවුරු ශක්තිමත් කරන මොහොතක මෙරට වටිනා මානව සම්පත සහ දැනුම රට තුල රැදි සිටීම දිරිමත් කිරීම වෙනුවෙන් තිරසාර උපායමාර්ගික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වන්නේ නම් අනාගතයේදි ශ්‍රී ලංකාව දැනුම් කාන්තරයක් බවට පත් වීම වැළැක්විය නොහැකි වනු ඇත.
