PSTA ගැසට්ටුව: අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තර්ජනයට ලක්කර ඩිජිටල් ආඥාදායකත්වයකට පාර කැපීමක්! - IMA
ගැසට් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත' (PSTA) (2026 සැප්තැම්බර් 22) මඟින් පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, මාධ්‍ය නිදහස සහ ඩිජිටල් අයිතිවාසිකම් අතිශය මර්දනකාරී ලෙස සීමා කිරීමට ආණ්ඩුව ගෙන ඇති උත්සාහය 'අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය' (IMA) ලෙස අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.
දේශීය හා ජාත්‍යන්තර බලපෑම් හමුවේ, මුල් කෙටුම්පතේ පැවති 55 වන වගන්තිය (සන්නිවේදනයන්ට බාධා කිරීම සහ විකේතනය කිරීමේ බලතල - Decryption) වැනි ඇතැම් කරුණු සංශෝධනය කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබුණද, ගැසට් කරන ලද පනත් කෙටුම්පත හරහා ආණ්ඩුවේ සැබෑ මර්දනකාරී ස්වරූපය වෙනස් වී නොමැත. යෝජිත PSTA පනත් කෙටුම්පත යනු පැරණි PTA හි මර්දනකාරී විලංගු, ඩිජිටල් තාක්ෂණයෙන් ඔපදමා ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය මත පටවනු ලබන නවතම ඩිජිටල් ආඥාදායකත්වයක් බව පැහැදිලි වේ.
ඩිජිටල් ස්වයං-වාරණය (Digital Self-Censorship)
පනතේ 11 වන වගන්තියෙන් සාධාරණ මාධ්‍ය වාර්තාකරණයට යම් ආරක්ෂාවක් සපයන බව ප්‍රකාශ කළද, අත්අඩංගුවට පත්වීමේ භීතිය සහ තමන් එය "සද්භාවයෙන් කළ බව" ඔප්පු කිරීමට සිදුවීමේ ප්‍රායෝගික අභියෝගය නිසා, සමස්ත සමාජයම අදහස් පළකිරීම සීමා කරමින් "ඩිජිටල් ස්වයං-වාරණ" තත්ත්වයකට තල්ලු වීමේ දැඩි අවදානමක් මෙමඟින් නිර්මාණය වේ.
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට සහ මාධ්‍යයට එල්ල වන බරපතල තර්ජන:
- ඩිජිටල් අවකාශය සහ ‘විරෝධතා - ත්‍රස්තවාදයක්’ ලෙස අර්ථ නිරූපණය කිරීම (3 වන වගන්තිය): "ආණ්ඩුවට අයුතු ලෙස බලකිරීම" හෝ "සන්නිවේදන පද්ධතිවලට බරපතළ බාධා කිරීම" ත්‍රස්තවාදී වැරදි ලෙස ඇතුළත් කර ඇත. මේ නිසා ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට එරෙහිව සමාජ මාධ්‍ය හරහා සංවිධානය වන Online Campaigns, Online Petitions සහ Hashtag රැලි (උදාහරණයක් ලෙස, 2022 වසරේදී #GotaGoHome Hashtag ය ප්‍රමුඛ කරගනිමින් ඩිජිටල් අවකාශය තුළ මෙන්ම ගෝල්ෆේස් ඇතුළු රට පුරා පැවති භෞතික මහජන නැගිටීම්) ත්‍රස්තවාදී ක්‍රියා ලෙස චෝදනාවට ලක්වීමේ අවදානමක් නිර්මාණය වේ.
- නිර්මාණශීලීත්වයට සහ උපහාසයට තහංචි (9 වන වගන්තිය): "වක්‍රව පෙළඹවීම" යන නොපැහැදිලි, පුළුල් පාඨයන් යොදාගනිමින්, සමාජ මාධ්‍ය තුළ බහුලව භාවිත වන පෝස්ටර්, මීම්ස් (Memes), දේශපාලනික උපහාසයන්, Reels/TikTok වීඩියෝ සහ සංකේතාත්මක නිර්මාණ අදාළ වැරදි ලෙස හඳුනාගතහොත් වසර 15 දක්වා බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට ඉඩ සලසා ඇත.
- Sharing, Retweeting සහ Links පළකිරීම තහනම් වීම (10 සහ 59 වන වගන්ති): යම් ලේඛනයක් හෝ සටහනක් Share කිරීම, Retweet කිරීම, Forward කිරීම හෝ ඊට අදාළ සබැඳි (URL Links) ඇතුළත් කිරීම "ත්‍රස්තවාදී ප්‍රකාශන සංසරණය කිරීමක්" ලෙස අර්ථ දැක්වීමට අවකාශ නිර්මාණය විය හැකිය. එවැනි තත්ත්වයකදී ජනාධිපතිවරයාට ගැසට් නිවේදන මඟින් Online ප්‍රකාශන සෘජුවම වාරණය කිරීමට බලය හිමි වේ.
- මාධ්‍ය මූලාශ්‍ර රහස්‍යභාවය අහෝසි වීම (15 වන වගන්තිය): තොරතුරු නොසැපයීම වසර 7ක සිරදඬුවම් ලැබිය හැකි වරදක් කිරීම මඟින්, ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ට සහ පුරවැසි මාධ්‍යවේදීන්ට තමන් වෙත තොරතුරු ලබාදෙන මූලාශ්‍රවල (Whistleblowers) රහස්‍යභාවය සුරැකීමට ඇති අයිතිය අහෝසි වී යයි.
- වාර්තාකරණයට සහ ඡායාරූපකරණයට සීමා පැනවීම (61 සහ 74 වන වගන්ති): ආරක්ෂක ලේකම්වරයාට පැය 72ක් සඳහා "තහනම් ස්ථාන" නියම කර එහි ඡායාරූප/වීඩියෝ ලබාගැනීම සීමා කිරීමටත්, ආරක්ෂක අංශවල ගමන් බිමන් හා විමර්ශන "රහස්‍ය තොරතුරු" ලෙස අර්ථ දක්වා මාධ්‍ය වාර්තාකරණය අඩපණ කිරීමටත් පනතින් මගපාදා ඇත.
එබැවින්, ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට සහ සිවිල් අයිතිවාසිකම්වලට පටහැනි මෙම PSTA පනත් කෙටුම්පත හුදෙක් සරල සංශෝධනවලින් පවතින බරපතල මර්දනීය තත්ත්වය නිවැරදි කළ නොහැකි බව අපි පෙන්වා දෙමු. එසේම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට ජාතික ජන බලවේගයේ (NPP) ආණ්ඩුව ලබා දුන් මැතිවරණ පොරොන්දුවට පිටින් යමින්, ඊටත් වඩා මර්දනකාරී පනත් කෙටුම්පතක් (PSTA) හරහා සිවිල් අයිතිවාසිකම් දැඩි තර්ජනයකට ලක් කිරීම පිළිබඳව අපගේ දැඩි විරෝධය යළිත් අවධාරණය කරමු.
අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය [IMA]