රජයේ අරමුදල් අවභාවිත කිරීමේ චෝදනාවකට අදාළ නඩු විභාගයෙන් අනතුරුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් පිටතට පැමිණෙන අවස්ථාවේදී, ඔහුගේ ආරක්ෂක කණ්ඩායමට අනුයුක්ත නිලධාරියෙකු සහ මාධ්‍ය ආයතනයක රූපවාහිනී කැමරා ශිල්පියෙකු අතර සිදුවීමක් වාර්තා වී තිබේ.
ඊයේ (30) දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පිවිසුම් දොරටුව අසලදී සිදුවූ මෙම සිදුවීමේදී කැමරාවකින් හිසට පහර දුන් බව පවසමින් අදාළ ආරක්ෂක නිලධාරියා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවද වාර්තා වේ.
මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් සහ නිදහස වෙනුවෙන් පෙනී සිටින ප්‍රධානතම සංවිධානයක් ලෙස ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA) අවධාරණය කර සිටින්නේ, මහජනතාව වෙත තොරතුරු වාර්තා කිරීමේ මාධ්‍යවේදීන්ගේ අයිතිය මෙන්ම රාජකාරියේ නිරත ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්ෂාව ද සුරක්ෂිත විය යුතු බවයි.
එබැවින්, මෙම සිද්ධියේදී ආරක්ෂක නිලධාරියාගේ නිල රාජකාරියට බාධා කිරීමක් සිදුවී ඇත්ද නැතහොත් මාධ්‍යවේදියාගේ නිදහස් මාධ්‍ය භාවිතයට සහ රාජකාරියට බාධාවක් සිදුවී ඇත්ද යන්න පිළිබඳව ක්ෂණික, අපක්ෂපාතී සහ සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා පොලිසියෙන් අපි ඉල්ලා සිටිමු.
අධිකරණ භූමියක් තුළ සිදුව ඇති මේ සිදුවීම ඔස්සේ පෙන්නුම් කරන්නේ සමාජය තුළ පවතින පුරවැසි අනාරක්ෂිතභාවයයි. මෙම සිදුවීම තුළින් මාධ්‍යවේදියාගේ සහ ආරක්ෂක නිලධාරියාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද අනාරක්ෂිත භාවයක් පෙන්නුම් කරන අතර, මේ සම්බන්ධයෙන් ද බලධාරීන්ගේ විශේෂ අවධානය යොමු විය යුතු බව අපගේ මතයයි.
