නව කම්කරු පනතට සංශෝධන ඉදිරිපත් කිරීමට වෘත්තීය සමිතිවලට තවදුරටත් අවස්ථාව

නව කම්කරු පනතට සංශෝධන ඉදිරිපත් කිරීමට වෘත්තීය සමිතිවලට තවදුරටත් අවස්ථාව

දැනට පවතින යල් පැන ගිය කම්කරු නීති සංශෝධනය කරමින් ඉදිරිපත් කිරීමට නියමිත රැකියා පනත සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති යෝජනාවන්ට සංශෝධන ඉදිරිපත් නොකළ වෘත්තීය සමිතිවලට සංශෝධන ඉදිරිපත් කිරීමට ලබන මාසයේ මුල් සතිය වන තෙක් කාලය ලබාදෙන බවත්, එම සංශෝධන කඩිනමින් ලබාදෙන ලෙසත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ජාතික කම්කරු උපදේශක සභාවට (29) දින දැනුම් දුන්නේය.

රැකියා පනත ඉදිරිපත් කිරීම ප්‍රමාද කිරීමේ අරමුණින් අදාල සංශෝධන ඉදිරිපත් කිරීම ප්‍රමාද කිරීමට කටයුතු නොකරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

තවත් සති දෙකකින් පමණ රැකියා පනත සම්බන්ධයෙන් වන සංකල්ප පත්‍රිකාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගන්නා බවත්, මේ වන විටත් බොහෝ වෘත්තීය සමිති හා ආයතන තමන්ගේ අදහස් මේ සම්බන්ධයෙන් ඉදිරිපත්කර අවසන් බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

මේ හා සමගාමීව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව සමග එක්ව යෝජනා කෙටුම්පත් කිරීමේ කටයුතු ආරම්භ කරන බව සදහන් කළෙ අමාත්‍යවරයා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් පනත් කෙටුම්පත සකස් කිරීමෙන් පසුව එයද ජනතා අදහස් සදහා ප්‍රසිද්ධ කරන බව පැවසුවේය. වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කරනු ලබන සංශෝධනත් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා කීවේය.

නව රැකියා පනතට වතු කම්කරුවන් සම්බන්ධයෙන් වූ පරිච්ඡේදයක් ඇතුළත් කිරීමට ද නියමිත අතර ඒ සදහා වන යෝජනාවන් ඉදිරිපත් කිරීම සදහා ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන වතු කම්කරු වෘත්තීය සමිතිවලින් සමන්විත අනු කමිටුවක්ද පත් කරනු ලැබීය. වතු කම්කරුවන්ට බලපාන සුවිශේෂී තත්වයන් සැලකිල්ලට ගනිමින් අදාල යෝජනා ඉදිරිපත් කිරිමේ අවස්ථාව එම කමිටුවට අමාත්‍යවරයා විසින් පවරනු ලැබුවේය.