සල්ලිකාරයන් බේරා කම්කරු අරමුදල් කොල්ල කෑමට එරෙහිව රටම ඇවිලේ (VIDEO)

කම්කරුවන් විසින් දුක් මහන්සියෙන් ඉතිරි කර ඇති මුදල් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා යොදාගැනීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් වෘත්තීය සමිති කොළඹ දියත් කළ ප්‍රධාන උද්ඝෝෂණයට අමතරව වතුකරයේත්, උතුරේත් විරෝධතා පවත්වා තිබේ.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවක භාරකාර අරමුදලේ තැන්පතු වෙනුවෙන් ගෙවන පොලිය අඩු කිරීම රජයේ සැලසුමයි.

ශ්‍රී ලංකාවේ කෝටිපති ව්‍යාපාරිකයකු වන හැරී ජයවර්ධනට අයත් මඩොල්සිම වැවිලි සමාගමේ බොගවන්තලාව පිහිටි තේරේසියා වත්තේ අගෝස්තු 28 වැනි සඳුදා දිවා කාලයේදී විරෝධතා දියත් කළ වතු කම්කරුවන් ප්‍රශ්න කළේ අනේක දුක් විදිමින් තමන් ඉතිරි කරගත් එකම මුදල කොල්ල කෑමට රජයට ඇති අයිතිය කුමක්ද යන්නයි.

"මේ EPF සහ ETF තමයි අපි වැස්සට තෙමි තෙමි, කුඩැල්ලෝ කකා එකතු කරපු එකම ඉතිරිය. රජය ජනතාවට උදව් කරලා තියනවා. ඒ සල්ලි මේ සල්ලි කියලා ඔයාලා කියනවා. හැබැයි වත්තේ කම්කරුවන්ට කියලා ඔයාලා රුපියල් 10 ක් වත් වෙන් කරලා නැ. අපේ සල්ලි ගන්න ඔයාලාට තියෙන අයිතිය අපිට සල්ලි දෙන්න ඔයාලට නැද්ද," යි මලෛයහ කම්කරු කාන්තාවක් ප්‍රශ්න කළාය.

විරෝධතාවයට එක්ව සිටි මලය රටේ කම්කරුවකු සඳහන් කළේ සිය ජීවිතයේ සියළුම බලාපොරොත්තු ගොනුව ඇති සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවක භාරකාර අරමුදලේ තැන්පතු කොල්ල කෑම ඔවුන් පණ පිටින් වළ දැමීමක් බවයි.

Bogawantalawa 2

Bogawantalawa 1

"මේක තමයි අපේ ජනතාවගේ අවසාන බලාපොරොත්තුව. කසාදෙ උනත් දරුවන්ගේ අනාගතය උනත්, ගෙයක් හදන්න උනත් අපිට තියෙන එකම මුදල EPF, ETF විතරයි. ඒ නිසා මේ EPF සහ ETF මුදල් කොල්ලකෑම කරනවා කියන්නේ අපිව පණ පිටින් වල දාන වැඩක්"

දේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී  සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවක භාරකාර අරමුදලේ තැන්පතු වෙනුවෙන් ගෙවන පොලිය අඩු කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් වෘත්තීය සමිති, සිවිල් සංවිධාන හා දේශපාලන පක්ෂ නියෝජිතයන් කිහිප දෙනකුගේ සහභාගිත්වයෙන්  කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අගෝස්තු 28 වැනිදා දහවල් ඒකාබද්ධ විරෝධතාවක් දියත් කරන ලදී.

අධිකරණ නියෝග

විරෝධතාකරුවන් කිහිපදෙනකුට ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුවට ඇතුළුවීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් ද නිකුත් කර තිබුනි.

දුමින්ද නාගමුව, මුජිබර් රහුමාන්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, චරිත හේරත්, වාසුදේව නානායක්කාර, ජෝසප් ස්ටාලින් ඇතුළු තවත් පිරිසකට අදාළව අධිකරණය එම නියෝගය නිකුත් කර තිබු බව ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

මානව හිමිකම් නිරීක්ෂණ

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික විනිසුරු එල් ටී බී දෙහිදෙණිය වෙත ලිපියක් යොමු කරමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන ඉල්ලා තිබුනේ මෙම උද්ඝෝෂණය නිරීක්ෂණය කිරීමට නිලධාරීන් යොමු කරන ලෙසයි.

"සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල සම්බන්ධයෙන් වන කාරණාවකට අදාලව 2011 වසරේ දී කටුනායක පැවැති විරෝධතාවකදී පොලිසිය කළ වෙඩි තැබීමකින් රොෂේන් චානක නම් තරුණයකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලැබූහ" යි එම ලිපිය මගින් සිහිපත් කර තිබේ.

2011 වසරේදී මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව විසින් සම්මත කර ගැනීමට උත්සාහ දැරූ පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් පනතට විරෝධය පාමින් කටුනායක නිදහස් වෙළඳ කළාපයේ කම්කරුවන් විසින් පැවැත්වූ උද්ඝෝෂණය මැඩපැවැත්වීමට කැරලි මර්දන පොලීසිය විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් රොෂේන් චානක රත්නසේකර මරා දැමිණි.

මැයි 30 වැනිදා සිදු කළ වෙඩි තැබීමෙන් පසු රෝහලට ඇතුලත් කළ 22 හැවිරිදි රොෂේන් මිය ගිය අතර පොලීසිය හා ප්‍රාදේශීය දේශපාලනඥයන් ගේ මැර කණ්ඩායම් එල්ල කළ ප්‍රහාරවලින් 200 කට වැඩි ස්ත්‍රී හා පුරුෂ කම්කරුවන් තුවාල ලබා තිබිණි.

කොළඹදී පසුගිය කාලයේ පැවැති විරෝධතා කිහිපයක්ම පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින අයිතිවාසිකම් මරදනය වන ආකාරයට විසිරුවා හැරීම සිදු කළ බව සදහන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලිපියේ වැඩි දුරටත් සදහන්ව තිබුනේ මෙම උද්ඝෝෂණය අතරතුර ද පොලිසිය, ආරක්ෂක අංශ අයිතිවාසිකම් කඩවන ආකාරයට කටයුතු කළ හැකි බවයි.

"ඒ අනුව මෙය මූලික අයිතිවාසිකම් අඩකිරීමට අත්‍යාසන්න අවස්ථාවක් බව අපගේ අදහසයි."

එසේ හෙයින් මෙම උද්ඝෝෂණය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා නිරීක්ෂකයන් එවන ලෙසත්, අයිතිවාසිකම් කඩ කිරීමට තැත් කළහොත් පුරවැසි අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සුදුසු නිර්දේශ ලබා දෙන ලෙසත් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබුනි.

එම නිරීක්ෂණය සිදුකළේදැයි කොමිසන් සභාව ප්‍රසිද්ධියට පත් කර නැත.

jaffna 02

සේවක අර්ථසාධක අරමුදල් සහ සේවක භාරකාර අරමුදල් කොල්ලයට එරෙහිව කොළඹ පැවති උද්ඝෝෂණයට සමගාමීව යාපනය කච්චේරිය ඉදිරිපිට දී  වෘත්තිය සමිති 9 ක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් විරෝධයක් දියත් කළ බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

 ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ  (IMF) කාර්ය මණ්ඩල වාර්තා සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සිදුකළ රටවල් වල රාජ්‍ය වාර්තා උපුටා දක්වමින් Public Finance Lk රාජ්‍ය නොවන සංවිධානය සදහන් කරන්නේ පසුගිය වසර 25 තුළ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සිදු කළ රටවල් 14ක් අතුරින්, බැංකු සහ පෞද්ගලික ණය දෙන්නන් අතහැර සමාජ ආරක්ෂණ අරමුදල් ඉලක්ක කර ගනිමින් ප්‍රතිව්‍යුහගත කළ එකම රට ශ්‍රී ලංකාව බවයි.

(the leader)