ජගත් කම්කරු ප‍්‍රමිතීන් ක‍්‍රියාවේ යෙදවීම සහ ප‍්‍රවර්ධනය කිරීම

ජගත් කම්කරු ප‍්‍රමිතීන් ක‍්‍රියාවේ යෙදවීම සහ ප‍්‍රවර්ධනය කිරීම

ජගත් කම්කරු ප‍්‍රමිතීන්ට ජාත්‍යන්තර මට්ටමේ සුවිශේෂී අධීක්ෂණ පද්ධතියක සහාය ලැබේ. සාමාජික රටවල් තමන් අත්සන් කළ සම්මුතීන් ක‍්‍රියාත්මක කරන බව සහතික කිරීමට එම පද්ධතිය උපකාරී වේ. ජගත් කම්කරු සංවිධානය ILO, සාමාජික රටවල් තුළ ප‍්‍රමිතීන් ක‍්‍රියාවේ යෙදවෙන ආකාරය නිතිපතා විමසුමට ලක් කරයි. එමෙන් ම, සම්මුතීන් වඩා මැනවින් ක‍්‍රියාවේ යෙදවිය හැකි ක්ෂේත‍්‍ර කවරේ දැයි සාමාජික රාජ්‍යයන්ට පෙන්වා දෙයි. ප‍්‍රමිතීන් ක‍්‍රියාවේ යෙදවීමේ දී යම් ගැටලූවක් පැන නැගුණහොත්, සමාජීය සංවාදය social dialogue මාර්ගයෙන් සහ තාක්ෂණික සහාය සපයා සාමාජික රටවලට උපකාර කිරීමට ILO ප‍්‍රයත්න දරයි.

ජගත් කම්කරු සමුළුව සම්මත කළ පසුව සහ රාජ්‍යයන් අත්සන් කළ සම්මුතීන් සහ නිර්දේශ නීතියේ දී සහ භාවිතයේ ක‍්‍රියාවේ යෙදවෙන ආකාරය අධීක්ෂණය කිරීමට ILO නොයෙක් ක‍්‍රම නිර්මාණය කර ඇත.

ILO අධීක්ෂණ පද්ධතිය
අධීක්ෂණ යාන්ත‍්‍රණ දෙවර්ගයකි:

1. සාමාන්‍ය අධීක්ෂණ පද්ධතිය: අත්සන් කළ සම්මුතිවල ඇතුළත් විධිවිධාන ක‍්‍රියාත්මක කිරීමට ගෙන ඇති පියවරයන් පිළිබඳව සාමාජික රාජ්‍යයන් ඉදිරිපත් කරන වාරික වාර්තා විමසුමට ලක් කිරීම.

2. විශේෂ ක‍්‍රියා පටිපාටි: සාමාන්‍ය ක‍්‍රියාවේ යෙදවීමට අදාළ නිදේශන Representation ඉදිරිපත් කරන ක‍්‍රියා පටිපාටියක් සහ සාමාන්‍ය ක‍්‍රියාවේ යෙදවීම සම්බන්ධ පැමිණිලි ක‍්‍රියා පටිපාටියක් සහ ඒ සමග සේවක එක්රැස් වීමේ නිදහස පිළිබඳ විශේෂ ක‍්‍රියා පටිපාටියක්.

ප‍්‍රමිතීන් ක‍්‍රියාවේ යෙදවීම අධීක්ෂණය කරන සාමාන්‍ය පද්ධතිය

සාමාන්‍ය අධීක්ෂණ පද්ධතිය ILO යාන්ත්‍රණ දෙකක විමර්ශන මත පදනම් වන්නකි. එම යාන්ත්‍රණ දෙක, නීතියේ දී සහ භාවිතයේ දී ප‍්‍රමිතීන් ක‍්‍රියාවේ යෙදවීම පිළිබඳව සාමාජික රාජ්‍යයන් එවන වාර්තා ද, ප‍්‍රමිතීන් ක‍්‍රියාවේ යෙදවීම සම්බන්ධයෙන් කම්කරු සංවිධාන සහ සේවා යෝජකයන්ගේ සංවිධාන එවන නිරීක්ෂණ ද විමසුමට ලක් කරයි.

එම මණ්ඩල දෙක මෙසේ ය:

1) සම්මුති සහ නිර්දේශ ක‍්‍රියාවේ යෙදවීම පිළිබඳ විශේෂඥ කමිටුව (Committee of Experts on theApplication of Conventions and Recommendations [CEACR])

2) සම්මුති සහ නිර්දේශ ක‍්‍රියාවේ යෙදවීම පිළිබඳ ජගත් කම්කරු සමුළු ත්‍රෛපාර්ශ්වීය කමිටුව

අදාළ ව්‍යවස්ථානුකූල විධිවිධාන:

අත්සන් කළ සම්මුතීන් පිළිබඳව වාර්තා කිරීමට පවත්නා බැඳීම

  • ILO ව්‍යවස්ථාවේ 22 වන වගන්තිය

තමන් පාර්ශ්වකරුවෙකු වන සම්මුතිවල විධිවිධාන ක‍්‍රියාවේ යෙදවීමට තමන් ගත් පියවරයන් පිළිබඳව ජගත් කම්කරු කාර්යාලය වෙත වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීමට සෑම සාමාජිකයෙක් ම එකඟ වෙයි. මෙම වාර්තා ඉදිරිපත් කළ යුත්තේ, පාලක මණ්ඩලය ඉල්ලා සිටින ස්වරූපයෙන් සහ එය ඉල්ලා සිටින තොරතුරු අඩංගු කරමිනි. 

අත්සන් නොකළ සම්මුතීන් පිළිබඳව වාර්තා කිරීමට පවත්නා බැඳීම

  • ILO ව්‍යවස්ථාවේ 19 (5)(e) වගන්තිය

සාමාජිකයා අදාළ කාරණය සම්බන්ධ නිසි බලධාරි ආයතනයේ හෝ ආයතනවල අනුමැතිය ලබා නොගන්නේ නම්, නීති සම්පාදනයෙන්, පරිපාලන ක‍්‍රියාවකින්, සාමූහික ගිවිසුමකින් හෝ වෙන යම් ආකාරයකින් සම්මුතියේ කිසි යම් විධිවිධානයක් බලාත්මක කර ඇති තරම හෝ බලාත්මක කිරීමට යෝජනා කර ඇති තරම පෙන්වා දෙමින් හෝ එම සම්මුතියට අත්සන් කිරීම වළක්වන හෝ පමා කරන දුෂ්කරතාවන් ප‍්‍රකාශ කරමින්, සම්මුතියේ දී අවධානය යොමු වන කාරණා සම්බන්ධයෙන් සිය නීතියේ සහ භාවිතයේ තත්ත්වය පිළිබඳව පාලක මණ්ඩලය ඉල්ලා සිටින පරිදි සුදුසු කාල ප‍්‍රාන්තරවල දී ජගත් කම්කරු කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත වාර්තා කිරීම හැර වෙනත් කිසිදු බැඳීමක් සාමාජිකයාට නැත. 

නිර්දේශ පිළිබඳව වාර්තා කිරීමට පවත්නා බැඳීම

  • ILO ව්‍යවස්ථාවේ 19 (6)(d) වගන්තිය

යට කී නිසි බලධාරි ආයතනය හෝ ආයතන හමුවේ නිර්දේශය යෝජනා කිරීම හැරුණු විට, නිර්දේශයේ විධිවිධාන බලාත්මක කර ඇති තරම හෝ බලාත්මක කිරීමට යෝජනා කර ඇති තරම සහ විධිවිධාන සම්මත කිරීමේ දී හෝ ක‍්‍රියාවේ යෙදවීමේ දී ඒවායේ සිදු කළ යුතු යැයි පෙනී ගොස් තිබෙන හෝ සිදු කළ යුතු විය හැකි යැයි පෙනී ගොස් තිබෙන සංශෝධන පෙන්වා දෙමින්, නිර්දේශයේ දී අවධානය යොමු වන කාරණා සම්බන්ධයෙන් සිය රට තුළ නීතියේ සහ භාවිතයේ තත්ත්වය පිළිබඳව පාලක මණ්ඩලය ඉල්ලා සිටින පරිදි සුදුසු කාල ප‍්‍රාන්තරවල දී ජගත් කම්කරු කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත වාර්තා කිරීම හැර වෙනත් කිසිදු බැඳීමක් සාමාජිකයාට නැත. 

අත්සන් කළ සම්මුති, අත්සන් නොකළ සම්මුති සහ නිර්දේශ

  • ILO ව්‍යවස්ථාවේ 23 වන වගන්තිය

1. 19 වන සහ 22 වන වගන්ති ක‍්‍රියාවේ යෙදවීම සම්බන්ධයෙන් සාමාජිකයන් තමන් සමග හුවමාරු කර ගත් තොරතුරුවල සහ වාර්තාවල සාරාංශයක් අධ්‍යක්ෂ ජනරාල්වරයා සමුළුවේ ඊළඟ රැස්වීම හමුවේ ඉදිරිපත් කළ යුතු ය.

2. 19 වන සහ 22 වන වගන්ති ක‍්‍රියාවේ යෙදවීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග තමන් හුවමාරු කර ගත් තොරතුරුවල සහ වාර්තාවල පිටපත් සෑම සාමාජිකයෙකු ම නියෝජිත සංවිධාන සමග හුවමාරු කර ගත යුතු ය.

විශේෂ ක‍්‍රියා පටිපාටි

සාමාන්‍ය අධීක්ෂණ පද්ධතියේ දී මෙන් නො ව මෙහි දී, පහත ලැයිස්තුගත කර තිබෙන ක‍්‍රියා පටිපාටි තුන පදනම් වන්නේ නිදේශනයක් Representation හෝ පැමිණිල්ලක් Complaint ඉදිරිපත් කිරීම මත ය.

1) සම්මත කළ සම්මුති ක‍්‍රියාවේ යෙදවීම පිළිබඳ නිදේශන සම්බන්ධ ක‍්‍රියා පටිපාටි.

2) සම්මත කළ සම්මුති ක‍්‍රියාවේ යෙදවීම පිළිබඳ පැමිණිලි සම්බන්ධ ක‍්‍රියා පටිපාටි.

3) සේවක එක්රැස් වීමේ නිදහස පිළිබඳ පැමිණිලි සම්බන්ධ විශේෂ ක‍්‍රියා පටිපාටි (සේවක එක්රැස් වීමේ නිදහස පිළිබඳ කමිටුව Committee on Freedom of Association [CFA ])

මූලාශ්‍රය: www.ilo.org