පැමිණිලි ක‍්‍රියා පටිපාටිය පාලනය වන්නේ ILO ව්‍යවස්ථාවේ 26 වන සහ 34 වන වගන්ති වලිනි. කිසි යම් සාමාජික රාජ්‍යයක් එය අත්සන් කළ කිසි යම් සම්මුතියකට අනුකූල නො වී ක‍්‍රියා කරන්නේ නම්, එම සම්මුතියට අත්සන් කර තිබෙන වෙනත් සාමාජික රාජ්‍යයකට, ජගත් කම්කරු සමුළුවේ නියෝජිතයෙකුට හෝ සිය බලතල පරිදි පාලක මණ්ඩලයට මෙම විධිවිධාන යටතේ එම රාජ්‍යයට එරෙහිව පැමිණිල්ලක් ගොනු කළ හැකි ය. පැමිණිල්ලක් ලද අවස්ථාවල දී පාලක මණ්ඩලය පරීක්ෂණ කොමිසමක් Commission of Inquiry පිහිටුවීමට තීරණය කරයි. පැමිණිල්ල පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීම, පැමිණිල්ලට අදාළ සියලූ කරුණු සොයා දැන ගැනීම සහ පැමිණිල්ලෙන් මතු කෙරෙන ගැටලූ විසඳීම සඳහා ගත යුතු පියවරයන් පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වගකීම දරන ස්වාධීන සාමාජිකයන් තිදෙනෙකුගෙන් එම කොමිසම සමන්විත වේ. පරීක්ෂණ කොමිසම යනු ILO සතු ඉහළ ම මට්ටමේ පරීක්ෂණ ක‍්‍රියා පටිපාටිය යි. එවැනි කොමිසමක් සාමාන්‍යයෙන් පිහිටුවනු ලබන්නේ, කිසි යම් සාමාජික රාජ්‍යයක් අඛණ්ඩ ලෙස සහ බරපතළ ලෙස උල්ලංඝනයන් සිදු කර ඇති බවට චෝදනාවට ලක් වන විට සහ ඒවාට විසඳුම් සෙවීම යළි යළිත් ප‍්‍රතික්ෂේප කර ඇති විට ය. මේ දක්වා පරීක්ෂණ කොමිසම් 11 ක් පිහිටුවා ඇත.

Complaints

කිසි යම් රටක් පරීක්ෂණ කොමිසමක නිර්දේශ ක‍්‍රියාවේ යෙදවීම ප‍්‍රතික්ෂේප කරන විට පාලක මණ්ඩලයට ILO ව්‍යවස්ථාවේ 33 වන වගන්තිය යටතේ පියවර ගත හැකි ය. ”… නියම කරන ලද කාල සීමාව තුළ පරීක්ෂණ කොමිසමේ වාර්තාව තුළ හෝ ජගත් අධිකරණයේ තීන්දුව තුළ අඩංගු වන කවර හෝ නිර්දේශයක් ක‍්‍රියාත්මක කිරීමට කිසි යම් සාමාජිකයෙකු අසමත් වන්නේ නම්, එවිට, එම නිර්දේශය සමග අනුකූලතාව ඇති කර ලීම සඳහා ප‍්‍රඥාගෝචර යැයි සහ යථා යෝග්‍ය යැයි තමන් කල්පනා කරන කිසි යම් පියවරක් සමුළුව වෙත නිර්දේශ කිරීමට පාලක මණ්ඩලයට හැකියාව ඇතැ”යි එම විධිවිධානය ප‍්‍රකාශ කරයි. ILO ඉතිහාසයේ දී 33 වන වගන්තිය පළමු වරට භාවිතයට ගන්නා ලද්දේ 2000 වසරේ දී ය. එනම්, බලාත්කාරී ශ‍්‍රමය යොදා ගැනීම අවසන් කිරීම සඳහා මියැන්මාරයට මග පෙන්වීමට පියවර ගන්නා ලෙස පාලක මණ්ඩලය ජගත් කම්කරු සමුළුවෙන් ඉල්ලා සිටි අවස්ථාවේ දී ය. 1930 අංක 29 දරණ බලහත්කාරී ශ‍්‍රමය පිළිබඳ සම්මුතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් 1996 දී 26 වන වගන්තිය යටතේ මියැන්මාරයට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර තිබුණු අතර, එහි ප‍්‍රතිඵලයක් ලෙස පිහිටුවන ලද පරීක්ෂණ කොමිසම රට තුළ බලාත්කාරී ශ‍්‍රමය ”පුළුල්ව සහ සැලසුම් සහගතව යොදා ගන්නා” බව සොයා ගත්තේ ය.

මූලාශ්‍රය: www.ilo.org