යුනිලීවර් සමාගමේ රැකියා 1500කට අනතුරේ

යුනිලීවර් සමාගමේ රැකියා 1500කට අනතුරේ

පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන දැවැන්තයකු වන යුනිලීවර් සිය කළමනාකරණය සහ ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීමේ කොටසක් ලෙස ගෝලීය වශයෙන් රැකියා 1,500 ක් පමණ කපා හැරීමට කටයුතු යොදමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 එක්සත් රාජධානිය පදනම් කරගත් බහුජාතික සමාගමක් වන යුනිලිවර් සමාගම සතුව අද වනවිට ලොව පුරා රටවල් 100කට අධික සංඛ්‍යාවක සේවකයන් 149,000ක පමණ පිරිසක් සේවය කරමින් සිටින බවද පැවසේ.

එම සමාගම තුළ සිදු කරන පුළුල් ප්‍රතිසංවිධාන කටයුත්තක් ලෙස මෙම සේවක කප්පාදුව සිදු කිරීම සැලසුම බව පැවසෙයි.

ඒ හරහා තරගකාරී මෙහෙයුම් ආදර්ශයක් සකස් කිරීම සමාගමේ අපේක්ෂාව වී ඇතැයිද සඳහන් වෙයි.

GlaxoSmithKline යටතේ පවතින අංශයක් පවුම් බිලියන 50කට ලබාගැනීම සඳහා යුනිලීවර් සමාගම උත්සහ කර තිබූ අතර, එය අඩු තක්සේරුවක් බවට GlaxoSmithKline චෝදනා කර තිබුණි. ඒ අනුව, එම ගණුදෙනුව අසාර්ථක වීමෙන් පසුව යුනිලීවර් සමාගමට පීඩනයක් එල්ල වී ඇති අතර, ඇතැම් කොටස්කරුවන් විවිධ වෙනස්කම් ද ඉල්ලා ඇත.

මේ තත්ත්වය ලංකාවට බලපාන්නේ දැයි අප යුනිලීවර් ශ්‍රී ලංකා ආයතනයේ ප්‍රකාශිකාවකගෙන් විමසීමක් කළ අතර ඇය ඉහල බලධාරීන්ගෙන් විමසීමක් කර පිළිතුරක් ලබාදෙන බවට පොරොන්දුවක් ලබාදුන්නද ඇය මෙතෙක් ඒ සඳහා පිළිතුරක් ලබා නොදුනි.

(ශ්‍රී ලංකා මිරර්)