වතු කම්කරුවන් 1000 නඩුවෙන් දිනුම්

වතු කම්කරුවන් 1000 නඩුවෙන් දිනුම්

වතු කම්කරුවකුගේ දෛනික අවම වැටුප රුපියල් දහසක් විය යුතු බවට කම්කරු අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ඉල්ලා වතු සමාගම් විස්සක් විසින් ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබේ.

2021 වසරේ මාර්තු 9 වැනිදා වතු කම්කරුවකුගේ දෛනික වැටුප රුපියල් දහසක් බවට පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරුණු අතර, ඊට විරෝධය පළ කරමින් ආගරපතන වැවිලි සමාගම ඇතුළු වතු සමාගම් 20 ක් එම වසරේ මාර්තු 17 වැනිදා අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනුකර තිබුනි.

පෙත්සම මඟින් අදාළ සමාගම් සඳහන් කර තිබුණේ, රුපියල් දහසේ අවම වැටුප ගෙවීමට සිදුවුවහොත් වතු සමාගම් දැඩි අර්බුදයකට පත් විය හැකි බවයි.

එම නිසා කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා තිබුණි.

එම පෙත්සම සළකා බැලූ අභියාචනාධිකරණය අගෝස්තු 09 වැනි අගහරුවාදා එය ප්‍රතික්ෂේප කිරීමට පියවර ගෙන තිබේ.