නව කම්කරු නීතියේ වෙනස්කොට සැලකීමට, ප්‍රචන්ඩත්වය හා හිංසනයට එරෙහි නීති ගෙන ඒම හොඳ දෙයක් - කල්ප මදුරංග - කල්ප මදුරංග (VIDEO)

නව කම්කරු නීති සංශෝධනය පිළිබඳව වන මාධ්‍ය හමුවක් අද කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ පැවැත්විණි. එසේම නව කම්කරු නීති සංශෝධන ඇතුළත් "නව සේවා නියුක්ති පනත් කෙටුම්පත" (06) දින ජාතික කම්කරු උපදේශන සභාවට ඉදිරිපත් කරන ලදී. එහිදී මෙතක් පැවති කම්කරු අණ පනත් 13 ක් නව සේවා නියුක්ති පනත් කෙටුම්පතට යටතට ඇතුළත් කර ඇත.

මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ සේවයට බඳවා ගැනීමේදී හෝ සේවය කිරීමේදී සේවා නියුක්තිකයෙකුට  තුළ වෙනස්කොට සැලකීම (Descrimination) වැළක්වීමේ නීතිමය ප්‍රතිපාදන මේ හරහා ගෙන එන බවයි. එසේම රැකියා ස්ථාන වල සියලුම ආකාරයේ හිරිහැර සහ ලිංගික හිංසනය වැළක්වීමේ නීති ගෙන එන බවත් ප්‍රචණ්ඩත්වය සහ හිංසනය එරෙහි C190 ජාත්‍යන්තර සම්මුතිය රට තුළ අපරානුමත කිරීමටද හැකි වනු ඇති බව ඔහු වැඩි දුරටත් සඳහන් කරන ලදී.

ගෘහ සේවය කම්කරු නීතියට ඇතුළත් කර ඊට අදාළ නීතිමය ප්‍රතිපාදන නව පනතට ඇතුලත් කර ඇති බව  කම්කරු අමාත්‍යවරයා සඳහන් කරන ලදී. මෙතෙක් රට තුළ නිවෙස් වල සේවය කල ගෘහ සේවිකාවන්, ගෘහ රියදුරන් සඳහා මෙතෙක් කම්කරු නීති ආවරණය නොතිබූ අතර මෙම පනත හරහා ගෘහ සේවකයන් ආවරණය කරන බව පැවසිය.

සැබැඳි පුවත්

එසේම ගෘහ සේවකයන්ට අදාළ ජාත්‍යන්තර සම්මුතිය C189 සම්මුතිය අපරානුමත කිරීමටද මේ හරහා කටයුතු කරන බව ඔහු වැඩි දුරටත් පැවසිය. කම්කරු නීති සංශෝධන පිළිබඳව  ප්‍රධාන පරිච්චේද 21කින් මෙම පනත් කෙටුම්පතේ සඳහන් කර ඇති අතර සමහර සංශෝධන කම්කරුවන් සඳහා ඉතා අහිතකර සංශෝධන බව සමහර වෘත්තීය සමිති සඳහන් කර ඇත. මෙවැනි නීති පෙන්වා කම්කරුවන්ගේ පවතින යහපත් රැකියා කොන්දේසි හකුලාලන තත්වයන්ටද අප විරුද්ධ විය යුතුය. 

කෙසේ වුවද මෙම නව "නව සේවා නියුක්ති පනත් කෙටුම්පත" තුල සඳහන් කරන ගෘහස්ත කම්කරුවනට අදාළ නීති සකස් කිරීම හා හිංසනය සහ ප්‍රචණ්ඩත්වයට එරෙහි නීති ඇතුළත් වීම සතුටට කරුණකි. කෙසේ වුවද මේ පිළිබඳව සවිස්තර වාර්තාවක් සහ යෝජනා එළඹෙන 20 වන දිනට පෙර කම්කරු අමාත්‍යංශයට ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙමු.

නමුත් ගෘහ සේවක අයිතිවාසිකම් වෙනුවෙන් අප සිදු කරගෙන යන සටන නවතාලිය නොහැක. ගෘහස්ත කම්කරුවන් සඳහා යහපත් රැකියා කොන්දේසි නීති ගත වන සහ අයිතිවාසිකම් තහවුරු කරන නීතියක් වෙනුවෙන් අප සටන් කරන අතර ගෘහ සේවය සුනිසි රැකියාවක් කර ගැනීම සඳහා වන සෑම අරගලයක්ම අප ජයග්‍රහණය කරන තෙක් සටන් කල යුතුය.

kalpa mduranga

| කල්ප මධුරංග

ප්‍රොාටක්ට් සංගමය