ඉමියුනොගොලොබියුන් වංචාවට සමගාමීව ජාන මංකොල්ලයක් සිදු වුණාද? - වෛද්‍ය චමල් සංජීව

ඉමියුනොගොලොබියුන් වංචාවට සමගාමීව ජාන මංකොල්ලයක් සිදු වුණාද? - වෛද්‍ය චමල් සංජීව

ප්‍රශ්න සහගත ඉමියුනොගොලොබියුන් රුධිර බැංකුවෙන් ලබාගත් රුධිර ප්ලාස්මාව යොදා නිෂ්පාදනය  නොකළේ නම් එම ප්ලාස්මාව මෙරට පුද්ගලයන්ගේ ජාන ඊශ්‍රායලය හෝ ඉන්දියා වෙන රටවල් වලට යැවීමට හෝ අපේ රටේ මිනිසුන් විද්‍යාගාර මීයන් හෝ හාවන් මෙන් පර්යේෂණ සඳහා යොදා ගැනීමට භාවිතා වූවාදැයි පරීක්ෂණයක් පැවැත්විය යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියි.

සාමාන්‍යයෙන් මිනිස් සිරුර ආශ්‍රිතව හෝ මිනිස් සිරුරෙන් ලබාගන්නා පටක ආශ්‍රිතව යම් වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණයක් සිදු කරන්නේ නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පර්යේෂණ අංශයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජාතික පර්යේෂණ සභාවේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අනුමැතිය අදාළ ව්‍යාපෘති වාර්තාව සඳහා ලබා ගැනීම අනිවාර්යෙන්ම  සිදුවිය යුතු වුවත් මෙකී සැපයුම්කරු වෛද්‍ය විද්‍යාත්මකව පර්යේෂණයක් සඳහා යැයි කියමින් රුධිර ප්ලාස්මාව රුධිර බැංකුවෙන් ලබා ගැනීම සඳහා වන ව්‍යාපෘති වාර්තාව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා තම අභිමතය පරිදි අත්සන් කිරීම සහ සාපරාධී ක්‍රියාවක් බවද වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය.

මිනිස් සිරුර ආශ්‍රිතව රුධිර පටක ආශ්‍රිත රුධිර පර්යේෂණයක් සිදු කරන විට ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රමෝපායන් අනුගමනය නොකොට තම අභිමතය පරිදි ක්‍රියාත්මක වීමට කිසිදු පුද්ගලයකුට නෛතික හැකියාවක් නොමැති බවත් මේ අන්දමට දෙවන ලෝක යුධ සමයේ දී කටයුතු කළ  ජර්මානු වෛද්‍යවරුන්ට නියුරම්බර්ග් නඩු තීන්දුවෙන් අනතුරුව මරණීය දණ්ඩනය ලබා දුන් බවද ඔහු සිහිපත් කළේය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා මගින් රැධිර බැංකු අධ්‍යක්ෂවරයා වෙත මාර්තු මස 27 වන දින අදාළ පර්යේෂණ වාර්තාවට  යටත්ව ලීටර 2000 දෙන ලෙස උපදෙස් ලබා දී ඇති නමුත් රුධිර ප්ලාස්මාව ලබා දෙන ලෙස ලේකම්වරයා කළ නියෝගය එකවර පිළිගැනීම වෙනුවට ඔහු  විශේෂඥ වෛද්‍යවරුන් ගෙන් සමන්විත විශේෂ කමිටුවක් හරහා කරන ලද අධ්‍යයනයෙන් පසුව අදාළ ව්‍යාපෘති වාර්තාව සඳහා නිර්දේශය ලබා දෙමින් පර්යේෂණ සඳහා පමණක්  රැධිර ලීටර්  150 ක් ලබා දිය හැකි බව දැනුම් දී ඇත.ඒ  මෙම මැයි මස තුන්වන දිනයි.

සාමාන්‍යයෙන් වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ සඳහා ලබා දෙන  ව්‍යාපෘති වාර්තාවන් විශ්වවිද්‍යාල අධීක්ෂණ මණ්ඩලයක අනුමැතියට යටත් විය යුතු වුවත් සෞඛ්‍ය ලේකම්වරයා එවැන්නක් සිදු කොට නොමැති බවද වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය.

තවද මෙම සැපයුම්කරු මෙම ව්‍යාපෘති වාර්තාව අනුව රුධිර ප්ලාස්මාව තුළ අඩංගු මෙතෙක් ලොව සොයා නොගත් විවිධ රුධිර ප්‍රෝටීන වර්ග  undiscovered plasma protein හඳුනා ගැනීම සඳහා මෙම පර්යේෂණය සිදු කරන බව දැනුම් දී ඇතත් එවන් ඉතා සංකීර්ණ පරීක්ෂණ ලංකාවේ වෛද්‍ය විද්‍යාත්මක විශ්වවිද්‍යාල හෝ පර්යේෂණාගාර තුළ පවා සිදුකිරීමට නොහැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

තවද මේ ලබාදී ඇති දුර ප්‍රශ්න අප ප්‍රමාණය immunoglobulin බෝතල් විසි දහස් පන්සියයක් සෑදීමට කිසිසේත් ප්‍රමාණවත් නොවන බැවින් මෙම ලබාගත් රුධිර ප්ලාස්මාව මෙම සැපයුම්කරු සමග සම්බන්දතාවයක් පවත්වන ඊශ්‍රායල් ඉන්දියානු ඖෂධ නියෝජිතයන්ට ලබා දීම හරහා මෙරට ජනතාවගේ ජාන මංකොල්ලය සිදුවී ඇත්දැයි වහාම පරීක්ෂණ කළ යුතු බව වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය.

දේශපාලකයන් නිලධාරීන් සහ ව්‍යාපාරිකයින් විසින් විනාශ කළ මෙරට සෞඛ්‍ය පද්ධතිය සම්බන්ධව පළමුවරට අධිකරණමය කටයුත්තක් සිදුවන අවස්ථාව මෙය බැවින් ද අදාළ අධිකරණමය කටයුතු සඳහා මෙරට ඉතා කුඩා වෘත්තිය හා සිවිල් සංවිධාන වන සහයෝගය සහ ජනමාධ්‍ය මගින් ලබාදුන්  මගපෙන්වීම ඉවහල් වූ බව ද ඔවුන් සියලු දෙනාටම ස්තූතිවන්ත වන බවද ඔහු සඳහන් කළේය.

මෙම ඉමියුනොගොලොබියුන් වංචාව සඳහා ප්‍රකට දේශපාලකයන්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීන්,  ව්‍යාපාරිකයින් සහ ඔවුන් සමඟ හිතවත්කම් පැවැත්වූ සෞඛ්‍ය අමාත්‍යාංශය වෛද්‍යවරුන් කිහිප දෙනෙකු සම්බන්ධ බවට වන කතා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වහාම අවධානය යොමු කොට අපක්ෂපාතී හා ඉක්මන් පරීක්ෂණයක් පැවැත්වීමට නීති අංශ දැනුවත් කිරීම ඉතා වැදගත් බවද වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය.

පසුගිය වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේදී මෙම සමාගම ලියාපදිංචියෙන් තොරව ප්‍රසම්පාදන ක්‍රියාවලියට ඇතුළත් වී ඇති බවත් සෞඛ්‍ය ලේකම්වරයා ජනවාරි මාසයේදී මෙම සමාගම සඳහා  ඉමියුනොගොලොබියුන් සැපයීමට අනුමැතිය ලබාදී ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

ඉන්පසුව සැප්තැම්බර් මාසයේදී මුදල් වලින් කොටසක් හෙවත් රුපියල් මිලියන හතළිහකට ආසන්න මුදලක් ගෙවීමට කටයුතු කර ඇති අතර ඔක්තෝම්බර් මාසය දී ඖෂධ තොගය  වෛද්‍ය සැපයුම් ඒකකයට භාර දී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් කඩිනමින් මෙම ගනුදෙනුවට සම්බන්ධ වන්නේ විශ්‍රාම යාමට සිටින අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු වාර්තා කිරීම වැදගත් බව ද වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මුළු රටටම අවධානයෙන් පසුවන බැවින් අධිකරණ අමාත්‍යවරයා හා පොලිසිය භාර අමාත්‍යවරයා ද සෞඛ්‍ය අමාත්‍යවරයාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපරිම සහයෝගය ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඔහු ප්‍රකාශ කළේය.