ස්ථාන මාරුව ක්‍රියාත්මක නොකොළොත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නවා - ලංකා ගුරු සංගමය

ස්ථාන මාරුව ක්‍රියාත්මක නොකොළොත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නවා - ලංකා ගුරු සංගමය

බප/ජය/මහාමායා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියගේ ස්ථාන මාරුව ආණ්ඩුකාරවරයා විසින් අත්තනෝමතිකව නතර කර ඇති ස්ථාන මාරුව වහා ක්‍රියාත්මක කර පාසලේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යාමේ වාතාවරණය සකසන ලෙස ලංකා ගුරු සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටින අතර,  එසේ නොවන්නේ නම් ගුරුවරු සහ පාසල් ප්‍රජාව සමග ඒකාබද්ධව ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව  මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, බප/ජය/මහාමායා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය සම්බන්ධයෙන් වූ විමර්ශන හා ඇය සම්බන්ධයෙන් පාසලේ ආචාර්ය මණ්ඩලය ඇතුළු විවිධ පාර්ශවයන් විසින් කරන ලද පැමිණිලි අනුව බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් විසින් අංක 1/13/ප.අ.දෙ. හා 2024.03.25 දිනැති ලිපිය මගින් ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකාව වෙත දැනුම් දී ඇත්තේ මහාමායා විදුහලේ විදුහල්පනියව වහාම ක්‍රියාත්මක වන පරිදි බප/ජය/ජනාධිපති විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනය ලෙස ස්ථාන මාරු කරන ලෙසයි.

එසේ තිබියදී බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් මෙම ස්ථාන මාරුව අවලංගු කිරීමට කටයුතු කර ඇත. පාසලේ ගුරු මණ්ඩලය සමග ගැටුම් ඇති කරගනිමින් සහ චෝදනාවන්ට ලක්ව විමර්ශනයට භාජනය වී සිටින මෙම විදුහල්පතිනියගේ ස්ථාන මාරුව මෙලෙස ආණ්ඩුකාරවරයා විසින් අවලංගු කිරීම හේතුවෙන් මහාමායා බාලිකා විදුහලේ පවතින ගැටලුකාරී තත්වය තවදුරටත් උත්සන්න වේ.

මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය 2024.01.01 දින ආණ්ඩුකාරවරයාට කරුණු පැහැදිලි කර සිටි අතර, ආණ්ඩුකාරවරයා විසින් අවලංගු කරන ලද ස්ථාන මාරුව වහා ක්‍රියාත්මක කරන ලෙස ද ඉල්ලා සිටින ලදී. මේ තත්වය තුළ චෝදනාවට ලක්ව සිටින මහාමායා විදුහලේ විදුහල්පතිනියගේ ස්ථාන මාරුව වහා ක්‍රියාත්මක කර පාසලේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යාමේ වාතාවරණය සකසන ලෙස ලංකා ගුරු සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටී. එසේ නොවන්නේ නම් ගුරුවරු සහ පාසල් ප්‍රජාව සමග ඒකාබද්ධව ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ද වැඩිදුරටත් පෙන්වා දෙමු.