ප්‍රමිති සහතික නොමැති 'ජීවනී' තොගයක් මිලදී ගැනීම අදාළ ආයතන අවසර දුන්නදා ?

ප්‍රමිති සහතික නොමැති 'ජීවනී' තොගයක් මිලදී ගැනීම අදාළ ආයතන අවසර දුන්නදා ?

වෛද්‍ය සැපයීම් අංශය විසින්, නියමිත ප්‍රමිති සහතික නොමැති 'ජීවනී' තොගයක් මිලදී ගැනීම පිළිබඳව විමර්ෂණය කිරීම පිළිබඳව  ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරය ලබා දී තිබේද යන්න සහ එම අධිකාරිය විසින් මෙම කර්මාන්තශාලා ව පිළිබදව නිවැරදි තත්ව පරීක්ෂාවන් වසර නවයක් තිස්සේ සිදු නොකිරීමට අදාල හේතුද විමර්ෂණයට ලක්විය යුතු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් විමසීමක් කර ඇත.

එම ලිපියේ වැඩිමනත් සඳහන්ව ඇත්තේ, වෛද්‍ය සැපයීම් අංශය විසින් පසුගිය මාසයේදී මිලදීගෙන රෝහල් වෙත බෙදා හැර ඇති, 'ජීවනී' නිවැරදි නිශ්පාදන තත්ව සහතික නොමැතිව නිෂ්පාදනය කල ඒවා බව වාර්ථාවේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා නිත්‍ය ජීවනී සැපයුම්කරු ලෙස කටයුතු කරනු ලබන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වුවද එම නිෂ්පාදනයට අදාල කර්මාන්ත ශාලාව සඳහා වසර නමයක් තිස්සේ ජී.එම්.පී සහතිකයක් නොමැති බව වාර්තාවේ.

විශේෂයෙන්ම ඖෂධ වල ගුණාත්මක තත්ත්වය පිළිබඳව විශාල ප්‍රශ්නාර්ථයක් මතුවී තිබෙන වටපිටාවක් තුළ රජයේ සැපයුම්කරුවෙකු ලෙස කටයුතු කරන ඖෂධ නීතිගත සංස්ථාව පවා නියමිත ප්‍රමිතින් අනුගමනය නොකරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා ඖෂධ සැපයීම් සිදු කිරීම බරපතල තත්ත්වයකි

පසුගිය මාසයේදී මිලදී ගත්, මිලියන හැටක පමණ වටිනාකමකින් යුතු එකී ජීවනී පැකට්ටු ලක්ෂ 120ක් පමණ මේ වන විටත් රෝහල් වෙත බෙදා හැර ඇති නමුත්, මේ හේතුවෙන් ඒවායේ ප්‍රමිතිය පිළිබදව බරපතල සැකයක් මතුවේ.

මෙම ජීවනි පැකට් තොගය ලියාපදිංචිය අත්හැරීමේ (WOR) සහතිකය නිකුත් කර ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ජාතික ඖෂධ නියාමන අධිකාරියට 2023 /12/29 දින ලිපියක් යොමුකර ඇති නමුත්, දේශීය වශයෙන් සිදු කරණ ලබන නිශ්පාදනයක් සඳහා WOR හෙවත් ලියාපදිංචිය අත හැර ගෙන්වීමේ අවසරයක් අදාල වන්නේ කෙසේද යන්න විශාල උභතෝකෝටිකයකි. එහිදී, GMP සහතිකයක් නොමැවීම, WOR සහතිකයකින් ආවරණය කර ගැනීම සඳහා පසුගිය සමය තුල බහුලව භාවිත කෙරුණු 'හොර WOR න්‍යාය' භාවිතා කිරීමට උත්සාහ කලේද යන්න, මෙහිදී මතුවන තවත් ප්‍රභල සැකයකි.

එසේම, ගුණාත්මක නිෂ්පාදන තත්ත්ව සහතික (GMP) නොමැති කර්මාන්තශාලාවක නිපදවු මෙම ජීවනි තොගය මිලදී ගැනීම සඳහා, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරය ලබා දී තිබේද යන්න සහ එම අධිකාරිය විසින් මෙම කර්මාන්තශාලා ව පිළිබදව නිවැරදි තත්ව පරීක්ෂාවන් වසර නවයක් තිස්සේ සිදු නොකිරීමට අදාල හේතුද විමර්ෂණයට ලක්විය යුතුය.