මාලිගාවත්ත වකුගඩු රෝහලේ නැවත අර්බුදයක්

මාලිගාවත්ත වකුගඩු රෝහලේ නැවත අර්බුදයක්

මාලිගාවත්ත රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස රාජකාරි ආවරණය කල චාල්ස් නුගවෙල ලබාදුන් ස්ථාන මාරුව ලබා නොගෙන මාළිගාවත්ත රෝහලේම රැඳී සිටීම සඳහා උත්සාහයක නිරත වන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් චෝදනා කරයි.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

මාලිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂධූරයේ රාජකාරී ආවරණය කල චාල්ස් නුගවෙල සිදුකළ නීති විරෝධී විනය විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් අවස්ථා කීපයකදීම පැමිණිලි කිරීමෙන් අනතුරුව 2026 ජනවාරි මාසයේ සිදු කළ අවසන් පැමිණිල්ලට අනුව මූලික විනය පරීක්‍ෂණයක් පැවැත් වූ එහි නිර්දේශයන්ට අනුව සෞඛ්‍ය ලේකම්වරයා විසින් ස්ථාන මාරු නියෝගයක් නිකුත් කොට ඇත.

මේ වන විට එම ස්ථාන මාරු නියෝගය අනුව කටයුතු නොකරමින් හෝ වෙනයම් ක්‍රමයකින් නැවතත් වාරයක් මාලිගාවත්ත  වකුගඩු රෝහලටම අනියුක්ත වීමට කටයුතු කරන බවට තොරතුරු වාර්තා වී ඇත. මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිප දෙනෙක්ම මැදිහත් වී කටයුතු කරන බවට වාර්තා වී ඇත.

සබැඳි පුවත්

මෙම තත්ත්වයට අවශ්‍ය වටපිටාව සකස් කිරීම සඳහා විවිධ පුද්ගලයන් හරහා මාධ්‍ය ප්‍රකාශන තුළින් ඇමතිවරයා සහ නියෝජ්‍ය ඇමතිවරයා මෙන්ම ලේකම්වරයාට මේ පිළිබඳව දෝෂාරෝපණ එල්ල කිරීමට කටයුතු කරමින් සිටී. එම ප්‍රකාශනවලට අනුව ඇමතිවරයා නියෝජ්‍ය ඇමතිවරයා ඇතුළු ලේකම්වරයා විසින් අනීතිකව සහ රෝහල් බිඳවැටවීමට කටයුතු කරතැයි චෝදනා කරමින් සිටී.

මේ සියලු චෝදනාවන් අසත්‍ය වන අතර ඇමතිවරයා, නියෝජ්‍ය ඇමතිවරයා හෝ සෞඛ්‍ය ලේකම්වරයායා විසින් කිසිදු අනීතික ක්‍රියාවක් සිදුකර නොමැත. වසර 2ට වැඩි කාලයක් තිස්සේ අනීතික සහ නීති විරෝධී ආකාරයෙන් කටයුතු කළ චාල්ස් නුගවල මහතාට එරෙහිව ලිඛිත පැමිණිලි තිබියදී කිසිද විනය පරීක්ෂණයක් ආරම්භ නොකළ පසුබිමක ඉහත නිලධාරීන් විසින් එය නිසි පරිදි සිදු කරන ලෙස උපදෙස් ලබාදීම   පමණක් සිදුකොට නීතිය සාධාරණව ඉටුකිරීමට කටයුතු කර ඇත.

මෙම තත්ත්වය පිළිබඳ විශේෂ අවධානයකින් සිටින ලෙස සෞඛ්‍යවරයාගෙන්, නියෝජ්‍ය මැතිවරයාගෙන් සහ සෞඛ්‍ය ලේකම්වරයාගෙන් සංගමයක් වශයෙන් අප ඉල්ලා සිටින අතර යම් හෙයකින් මෙම තත්ත්වය වෙනස් කිරීමට උත්සාහ කළහොත්  නැවත ක්ෂණික ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණය වීමට සිදුවන බව දන්වා සිටී.