ඉරාන නැවියන් මුණගැසුණු මාධ්‍යවේදිනී සුලෝචනා රාමයියා මොහාන් පොලිස් භාරයට ගැනීම දැඩි ලෙස හෙළා දකිනවා - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
ගාල්ල කරාපිටිය රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන ඉරාන ජාතික නැවියන් මුණගැසී තොරතුරු ලබාගනිමින් සිටියදී පොලිසීයේ යැයි කියූ පිරිසක් තම රාජකාරියට බාධා කරමින් සටහන් පොත් උදුරා ගත්තේ යැයි චෝදනා කරමින් ගාල්ල පොලිසියට පැමිණිල්ලක් කළ බව සිලෝන් ටුඩේ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ සුලෝචනා රාමයියා මොහාන් මහත්මිය පවසයි.
අදාළ නාවිකයන් මුණගැසී එම ස්ථානයේ සිටි ඉරාන තානාපති කාර්යාල නිලධාරිනියකගේ භාෂා පරිවර්තන සහායෙන් නිසියාකාරව තොරතුරු ලබාගනිමින් සිටි අවස්ථාවේ මෙම සිදුවීමට මුහුණ පෑ බව තමා කළ පැමිණිල්ලේ සඳහන් වන බව ද ඇය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙත පැවසුවාය.
එහිදී රාජකාරියට බාධා කළ පොලිසියේ අයෙකු සහ ආරක්ෂක නිලධාරියකු තමාට අසභ්‍ය වචනයෙන් බැණ වැදුණු බව ද මාධ්‍යවේදිනිය පැවසුවාය.
පසුව මේ සම්බන්ධයෙන් තමා පොලිස්පතිවරයාට දුරකථනයෙන් දැනුම් දුන්නේ යැයි ද ගාල්ල පොලිසියට පැමිණිලි කළේ ඉන් අනතුරුව යැයි ද ඇය සඳහන් කළාය.
මාධ්‍යවේදිනී සුලෝචනා මහත්මිය කළ පැමිණිල්ල සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය විමසූ විට සඳහන් කරන ලද්දේ එවැනි පැමිණිල්ලක් ලැබී නොමැති බවයි. තමන් කළ පැමිණිල්ලෙහි අංකයද ලබා නොදුන් බව සුලෝචනා මහත්මිය පවසයි.
මෙම සිදුවීම නිදහසේ වෘත්තීය කටයුතුවල නියැලීමට මාධ්‍යයට ඇති අයිතියට බාධා කරමින් සිදු කළ අනවශ්‍ය පොලිස් මැදිහත්වීමක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මතයයි. මෙම සිදුවීම දැඩිව හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ වහාම මේ සම්බන්ධව සොයාබලා නිසි පියවර ගන්නා ලෙසයි.

