මාධ්‍යවේදී සඳරුවන් සේනාධීර අත්අඩංගුවට ගැනීම: ප්‍රජාතන්ත්‍රවාදය සහ මාධ්‍ය නිදහස පිළිබඳ අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වයේ (IMA) නිල ප්‍රකාශය

ima-sandaruwansenadheera

වසර 16කට ආසන්න කාලයක් එක්සත් රාජධානියේ දේශපාලන රැකවරණ ලබා සිටි, 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවියේ සංස්කාරක, ප්‍රවීණ මාධ්‍යවේදී සඳරුවන් සේනාධීර මහතා ඊයේ (11 වැනිදා) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පොලිස් අත්අඩංගුවට පත්වීම පිළිබඳව 'අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය' (IMA) ලෙස අපගේ බලවත් කණස්සල්ල පළ කර සිටිමු.

රාජපක්ෂ පාලන සමයේදී එල්ල වූ මාරාන්තික තර්ජන, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සහ 2011 ජනවාරි 30 වනදා අලුයම 'ලංකා ඊ නිව්ස්' මාධ්‍ය ආයතනය ගිනි තැබීම වැනි මර්දනකාරී වටපිටාවක සිය ජීවිතාරක්ෂාව පතා සේනාධීර මහතාට මෙරටින් බැහැර වීමට සිදු විය. එතැන් සිට ඔහු ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය හරහා මෙරට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි අතර, වත්මන් පාලනය බලයට පත් කිරීම සඳහා ජාතික ජන බලවේගයට මතවාදීව දැඩි සහයෝගයක් ද ලබා දුන්නේය.

පසුගිය රජයන් යටතේ ගොනු කරන ලද නීති කෘත්‍යයක සැකකරුවෙකු ලෙස සේනාධීර මහතා අත්අඩංගුවට ගෙන ඇති බව පැවසේ. කෙසේ නමුත්, මෙම ක්‍රියාව හරහා අතීත යුගයේ පැවති දේශපාලන දඩයම් සහ මාධ්‍ය මර්දනය යළිත් සැරිසරන්නේ දැයි යන සාධාරණ සැකය මෙරට මාධ්‍ය ප්‍රජාව තුළ යළි මතු වෙමින් ඇත. එම සැකය දුරු කිරීම වත්මන් පාලනයේ වගකීමකි.

එබැවින්, අපි පොලිසියට සහ ආණ්ඩුවේ බලධාරීන්ට පහත කරුණු දැඩිව අවධාරණය කරමු:

ජීවිතාරක්ෂාව තහවුරු කිරීම: සේනාධීර මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය පූර්ණ වගකීම දැරිය යුතුය.

නීතියේ සාධාරණත්වය: ඔහුට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග දේශපාලන පළිගැනීම්වලින් තොර, විනිවිදභාවයකින් යුතු සහ සාධාරණ නීති කෘත්‍යයකට ඇති අයිතිය තහවුරු කරන්නක් විය යුතුය.

වෘත්තීය නිදහස සුරැකීම: මාධ්‍යවේදීන්ගේ වෘත්තීය සුරක්ෂිතභාවය සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තහවුරු කරන බවට ලබා දුන් ප්‍රතිඥා රජය ප්‍රායෝගිකව සහතික කළ යුතුය.

මාධ්‍යවේදීන් දඩයම් කරන අතීත අඳුරු යුගය යළි සිහිගන්වන මෙවැනි ක්‍රියාවන් ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයකි. එබැවින්, මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම මැදිහත් වී යුක්තිය ඉටු කරන ලෙස අපි බලධාරීන් ඇතුළු ආණ්ඩුවට බල කර සිටිමු.

සම්පත් සමරකෝන්

අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය (IMA) +94 777 248304 | @IMAlanka

About IMA: IMA is a media collective that looks specifically at existing and emergent threats to content in online for a, including on the web and Internet.