වෛද්‍ය සංගමය සෙනසුරාදා රජයේ නිවාඩු දිනයක් ලෙස පිළිගන්නා ලෙස ඉල්ලයි

වෛද්‍ය සංගමය සෙනසුරාදා රජයේ නිවාඩු දිනයක් ලෙස පිළිගන්නා ලෙස ඉල්ලයි

සෙනසුරාදා දිනය නිවාඩු දිනයක් සේ පිළිගෙන අනිකුත් රජයේ නිවාඩු දිනයන්හිදි වෛද්‍යවරුන්ගේ රාජකාරි සිදුකරගෙන යන ආකාරයට සේවය කිරීමට අවස්ථාව ලබා දෙන මෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර ඇති බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

දීර්ඝ කාලයක් තිස්සේ පැවතගෙන එන සහ දිනෙන් දින උග්‍ර අතට හැරෙන රට පුරා සෞඛ්‍ය ආයතන වල ඇති වෛද්‍ය හිඟය සහ මානව සම්පත් හිඟය පිළිබදව දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යංශය සහ දේශපාලන අධිකාරිය දැනුවත් කිරීමට අපි විසින් කටයුතු කලත් ඒ සම්බන්ධව සාධනීය විසදුමක් හෝ විසදුමකට ඒලඹිම සඳහා සුදානමක් හෝ වගකිව යුතු පාර්ශව වලින් දක්නට ලැබෙන්නේ නැත. එමෙන්ම මේ වන විට උද්ගත වී ඇති. ඉන්ධන අර්බුදය හේතුවෙන්ද වෛද්‍යවරුන් ප්‍රමුඛ  සමස්ථ සෞඛ්‍ය සේවකයින් රාජකාරියට වාර්තා කිරීමේදි දැඩි ගැටලුකාරි තත්ත්වයකට මුහුණ පා සිටියි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයත් රජයත් දැනුවත් කලද තවමත් පිළිගත හැකි සාධනීය විසදුම්ක් මේ සඳහා ලැබි නොමැත. මේ නිසා වෛද්‍යවරුන් මෙන්ම රෝගී ජනතාවද දැඩි අපහසුතාවයට පත්ව සිටියි.

මෙම කාරණා සියල්ල සැලකිල්ලට ගනිමින් (2026.03.26) දින පැවති මාධ්‍යම කාරක සභා රැස්විමේදි පහත තීන්දු තීරණ වලට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව එකඟ වෙන ලදී.

1.            සෙනසුරාදා දිනය නිවාඩු දිනයක් සේ පිළිගෙන අනිකුත් රජයේ නිවාඩු දිනයන්හිදි වෛද්‍යවරුන්ගේ රාජකාරි සිදුකරගෙන යන ආකාරයට සේවය කිරීමට අවස්ථාව ලබා දෙන මෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට යෝජනා කිරීම. යම් හෙයකින් සෞඛ්‍ය අමාත්‍යංශය ඒ සම්බන්ධව සාධනීය ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස හෝ සෙනසුරාදා දින රජයේ නිවාඩු දිනයක ආකාරයට වෛද්‍යවරුන් කැදවමින් රාජකාරි කිරීමට තිරණය කරන ලදී.

2.            රට පුරා පවතින ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක සහ ප්‍රාදේශීය රෝහල් වල මානව සම්පත් හිගය මත පදනම් වෙමින් ලබා දිය හැකි සේවාව පිළිබඳව සමාලෝචනය කිරීමත් මානව සම්පත් හිගය නිසා යම් හෙයකින් සේවා කප්පාදු කිරීමක් සිදු කිරීමට අවශ්‍ය වන ස්ථාන පිළිබඳ තීරණ ලබා ගැනීමට විධායක සභාවට බලය පැවරීමත් සිදු කරන ලදී.

වෛද්‍යවරුන්ගේ හඩ‌ට ඇහුම්කන් දෙමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති සත්‍ය ගැටලු හදුනාගනිමින් රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කරන්නේ නම් දැන්වත් ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාව බිඳ වැටිම වළක්වා ගැනීම අප සැමට එකමුතුවි සිදු කර ගත හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශ්වාසයයි. නමුත් සෞඛ්‍ය අමාත්‍යංශය සහ රජය දිගින් දිගටම මෙම උද්දච්ච ස්ථාවරයේම සිටින්නේ නම් එහින් අගතියට පත් වන්නේ ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවයත් ශ්‍රී ලාංකීය රෝගී ජනතාවත් වේ.