ග්‍රාම නිලධාරී සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන තරග විභාගය මාර්තු 29 වන දා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ ප්‍රකාශ කළේ, එම විභාගය එදින දිවයින පුරා විභාග මධ්‍යස්ථාන රැසක පැවැත්වෙන බව ය.
ග්‍රාම නිලධාරීවරයෙකු හෝ ග්‍රාම නිලධාරීවරියක වීමේ අරමුණින් මෙවර විභාගයට පෙනී සිටීමට අපේක්ෂා කරන රාජ්‍ය සේවයට එක් වීමට අපේක්ෂා කරන ඔබට ඒ සඳහා සහය විය හැකි කරුණු කිහිපයක් මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.
මූලික සුදුසුකම් මොනවා ද?
ග්‍රාම නිලධාරී සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන තරග විභාගයට පෙනී සිටින අයැදුම්කරුවන් පහත දැක්වෙන මූලික සුදුසුකම් සැපිරිය යුතු ය.
- අයැදුම්පත් භාර ගන්නා දිනට (2025 නොවැම්බර් 24) වයස අවු 21ට නොඅඩු සහ වයස අවු 35ට වැඩි නොවන අයෙකු වීම.
- අ.පො.ස. (උසස් පෙළ) විභාගයෙන් විෂයයන් 03ක් සමත් වී තිබීම.
- අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයෙන් සිංහල/දෙමළ භාෂාව සහ ගණිතය ඇතුළුව එකවර විෂයයන් 06ක් සමත් වී තිබීම.
- අයැදුම් කරන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ, අයැදුම්පත් භාර ගන්නා අවසන් දිනට පෙර වසර 06ක් තුළ, අඛණ්ඩව වසර 03ක ස්ථිර පදිංචිකරුවෙකු වීම.
- ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීම, විශිෂ්ට සදාචාර සම්පන්න චරිතයකින් යුක්ත වීම සහ රාජ්‍ය සේවයෙන් පහ නොකළ අයෙකු වීම.
බඳවා ගැනීමේ ක්‍රමවේදය
මෙම තනතුර රාජ්‍ය සේවාව තුළ විශේෂිත තනතුරක් වන්නේ, ස්ථීර සහ විශ්‍රාම වැටුප් සහිත තනතුරක් වීම හේතුවෙනි.
ග්‍රාම නිලධාරී සේවයට බඳවා ගනු ලබන්නේ, බඳවා ගැනීමේ තරග විභාගයකින් හා ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයකින් පසුව ය.
ග්‍රාම නිලධාරී සේවාවට බඳවා ගන්නා සියලු දෙනා මාස 6ක පුහුණු පාඨමාලාවක් සම්පූර්ණ කිරීම අනිවාර්ය වේ.
තරග විභාගයේ ව්‍යුහය
විභාගය මූලික වශයෙන් ප්‍රශ්න පත්‍ර 03කින් සමන්වීත වේ.
- භාෂා භාවිතය සහ අවබෝධය (කාලය පැය එක හමාරයි)
මුළු ලකුණු සංඛ්‍යාව 100ක් ලබා දෙන මෙම ප්‍රශ්න පත්‍රය හරහා මැන බලනුයේ රාජ්‍ය සේවයේදී තිබිය යුතු ම හැකියාවක් වන ලේඛන හැකියාව යි. අක්ෂර වින්‍යාසය, භාෂාව හා රචනය, දෙන ලිපියක් කෙටුම්පත් කිරීම හා සාරාංශ කිරීම ආදී හැකියාවන් මෙහිදී විමසා බැලේ.
- දේශීය හා ගෝලීය ප්‍රවණතා පිළිබඳ සාමාන්‍ය දැනීම (කාලය පැය එක හමාරයි)
මෙම ප්‍රශ්න පත්‍රය සඳහා ද මුළු ලකුණු 100ක් හිමි වන අතර කාලීන වැදගත්කමක් සහිත දේශපාලනික, ආර්ථික, සමාජීය, පාරිසරික සහ විනෝදාස්වාදය යන විෂයයන් අයත් දැනුම පිළිබඳව මැන බැලීම සිදු කරයි.
- අභියෝග්‍යතාව (කාලය පැයයි)
මෙම ප්‍රශ්න පත්‍රයට ද ලකුණු 100ක් ලබා දෙන අතර මෙමගින් සංඛ්‍යාත්මක දැනුම, තර්කන හැකියාව මෙන් ම ගැටලු නිරාකරණය ආදී ක්ෂේත්‍රවලට ඇති හැකියාව මැන බැලේ.
එම විභාගයෙන් සමත් වීමට නම් සෑම ප්‍රශ්න පත්‍රයකට ම ලකුණු 40 බැගින් ලබා ගත යුතු ය. නමුත් ප්‍රශ්න පත්‍ර සියල්ලේ ම ලකුණුවල එකතුව ගණනය කොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් පවතින පුරප්පාඩුවලට අනුව ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයට සුදුසුකම් ලබන අදාළ අපේක්ෂකයින්ගේ අනුපිළිවෙළ සකස් කරයි.
සම්මුඛ පරීක්ෂණය
සම්මුඛ පරීක්ෂණවලට කැඳවීමේදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වැඩි ම ලකුණු ලබා ගත් අපේක්ෂකයින්ගෙන්, අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවතින පුරප්පාඩු මෙන් දෙගුණයකට සමාන සංඛ්‍යාවක් සම්මුඛ පරීක්ෂණ සඳහා තෝරා ගනු ලබයි.
සම්මුඛ පරීක්ෂණයේදී මූලිකව පහත කරුණු සඳහා අවධානය යොමු කෙරේ.
- නායකත්ව කුසලතා (ලකුණු 15)
- ක්‍රීඩා කුසලතා (ලකුණු 05)
- අනෙක් රාජ්‍ය භාෂාව හෝ සන්ධාන භාෂා ප්‍රවීණතාව (ලකුණු 10)
- පරිගණක දැනුම (ලකුණු 10)
- සම්මුඛ පරීක්ෂණයේදී දක්වන කුසලතාව (ලකුණු 10)
මෙහිදී සම්මුඛ පරීක්ෂණයට හිමි වන සමස්ත ලකුණු සංඛ්‍යාව 50කි. සම්මුඛ පරීක්ෂණය සඳහා ඉදිරිපත් කරනු ලබන සහතිකපත් නිවැරදි ලෙස බලධාරියා සනාථ කර තිබිය යුතු ය. විශේෂයෙන් ම සමිති, දහම් පාසල් ගුරු වැනි සමාජ ක්‍රියාකාරී වැඩ සිදුකර ඇත්නම් අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයා එම සහතිකපත් සනාථ කර තිබිය යුතු ය.
වැටුප් හා උසස්වීම්
පුහුණු කාලය තුළ තෝරා ගන්නා පුද්ගලයින්ට රු 17,800ක දීමනාවක් හිමි වන අතර පුහුණු කාලයෙන් පසු ආරම්භක වැටුප ලෙස හිමි වන වැටුප 50,630.00ක් පමණ වේ.
ග්‍රාම නිලධාරී සේවයේ III වන ශ්‍රේණියට එක්වූ පසු සේවා කාලය සමග ක්‍රමානුකූලව ශ්‍රේණීවල III, II, I ආකාරයෙන් උසස්වීම් ලබා ගැනීමේ හැකියාව ඇත.
ඉන් අනතුරුව වසර 10ක සේවා කාලයක් අවසන් කරන ග්‍රාම නිලධාරී සේවයේ නියුතු අයෙකුට පරිපාලන ග්‍රාම නිලධාරීවරයෙකු හෝ වරියක ලෙස උසස්වීම් ලබා ගැනීමට අවස්ථාව පවතී.
යම් අයෙකු සේවයේ සිටියදී වසර 05 සේවය නිම කිරීම සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් උපාධියක් සම්පූර්ණ කරන්නේ නම් රාජ්‍ය සේවයේ තෝරා ගත් මාණ්ඩලික ශ්‍රේණියේ තනතුරු සඳහා අයැදුම් කිරීමට ද අවස්ථාව උදා වේ.
රාජ්‍ය සේවයේ සිටිමින් උපාධියක් සම්පූර්ණ කිරීමට කෙනෙක් සිහින දකින්නේ නම් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය සහ බාහිර උපාධි පාඨමාලා ඒ වෙනුවෙන් අවස්ථාව උදාකර දී ඇත.
සූදානම් වන්නේ කෙසේ ද?
ග්‍රාම නිලධාරී සේවයට ඇතුළු වීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් තරඟ විභාගය සඳහා විධිමත් ලෙස සූදානම් වීම අත්‍යවශ්‍ය ය. මෙහිදී විෂය දැනුමට අදාළව භාෂා දැනුම භාවිතය හා අවබෝධය සහ සාමාන්‍ය දැනීම සඳහා පුළුල් අවධානයක් යොමු කළ යුතු බව කැලණිය විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශක විරාජ් අභයසිංහ පවසයි.
විශේෂයෙන්, ශ්‍රී ලංකාවේ ආර්ථික, දේශපාලන හා සාමාජීය සහ පාලන ව්‍යුහය පිළිබඳ මෙන් ම, ගෝලීය ප්‍රවණතා පිළිබඳව ද දැනුවත් වීම වැදගත් වේ. පසුගිය ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කිරීම හරහා විභාගයේ රටාව අවබෝධ කරගැනීමට හැකිවනු ඇත. බොහෝ විට රාජ්‍ය සේවා තරග විභාගවලට අදාළ ආදර්ශ ප්‍රශ්න සහ පිළිතුරු ඇතුළත් පොත් පුස්තකාලවල පරිශීලනයට තබා ඇති අතර, වෙළඳපොළෙන් මිල දී ගැනීමට ද හැකි ය.
අභියෝග්‍යතා ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට පුහුණු වීමේදී ඊට අදාළ පසුගිය ප්‍රශ්න සහ ආදර්ශ ප්‍රශ්න හැකි තාක් පුහුණු විය යුතු ය.
ග්‍රාම නිලධාරී සේවයේ පුරප්පාඩු සංඛ්‍යාව ඉතා අඩු වුව ද ඒ සඳහා ඉල්ලුම් කරන අයැදුම්කරුවන් සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගනී. පෙර පැවැත්වූ විභාග දෙස බැලීමේදී එක් විභාගයකට අයදුම්කරුවන් 180,000ක් පමණ අයැදුම් කරති.
නමුත් බොහෝදුරට පවතින්නේ, 5000කට අඩු පුරප්පාඩු සංඛ්‍යාවකි. බොහෝ විට එය 1500ත් 3000ත් පමණ අතර වේ. එබැවින් මෙම විභාගය අතිශය තරගකාරී වනු ඇත.

