ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු සුපරීක්‍ෂණ අංශයේ අධ්‍යක්‍ෂිකාවගේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසා බැංකු පද්ධතිය අර්බුදයක

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු සුපරීක්‍ෂණ අංශයේ අධ්‍යක්‍ෂිකාවගේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසා බැංකු පද්ධතිය අර්බුදයක

HDFC බැංකුවේ දෙදින වැඩවර්ජනය හා මහ බැංකුවේ ක්‍රියාමාර්ග මත HDFC බැංකුව ඇතුලු බැංකු පද්ධතිය මත උද්ගතව ඇති ගැටලු සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ලංකා බැංකු සේවක සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් HDFC බැංකුව වෙත සිමා කිරීම් පනවා වසර එකහමාරකට ආසන්න කාලයක් ගතවී ඇති අතර එම සීමා කිරීම් ඉවත් කරගනිමින් බැංකුව නිසි පරිදි මෙහෙයවීමට බැංකු පාලනාධිකාරිය මේ දක්වා අපොහොසත් වී ඇත. මෙම සීමාකිරීම් හේතුවෙන් බැංකුවේ ප්‍රධාන ණය නිෂ්පාදනය වන දේපළ උකස් ණය ලබාදීම අත්හිටුවා ඇති අතර තවත් සීමාකිරීම් ගණනාවක් පනවා ඇත. එමෙන්ම සේවක අයිතිවාසිකම් ගණනාවක් ද කප්පාදු කිරීමට HDFC බැංකු පාලනාධිකාරිය කටයුතු කර ඇත. බැංකුවේ අනාගතය සුරක්‍ෂිත කිරීමට සහ කප්පාදු කරන ලද සේවක අයිතිවාසිකම් දිනාගැනීම සඳහා මේ වනවිට HDFC බැංකුවේ සේවක මණ්ඩලය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත යොමුවී ඇති අතර මාර්තු 25 සහ 26 යන දෙදින තුළ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර ඇත. HDFC බැංකුව ලංකා බැංකුවේ අනුබද්ධිත ආයතනයක් බවට පත් කිරීමට මේ වනවිට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති අතර එම ක්‍රියාවලිය ආරම්භ කරන තෙක් බැංකුව නිසි පරිදි පවත්වාගෙන යන ලෙසත්, කප්පාදුවට ලක් කරඇති සේවක අයිතිවාසිකම් ලබාදෙන ලෙසත් බල කරමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දියත් කර ඇත.

එසේම ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු සුපරීක්‍ෂණ අංශයේ අධ්‍යක්‍ෂවරියගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් බැංකු පද්ධතිය තුළ ගැටලු ගණනාවක් මතු වී ඇත. විශේෂයෙන්ම රාජ්‍ය බැංකුවල සභාපති, අධ්‍යක්‍ෂ මණ්ඩල ධූර, ප්‍රධාන විධායක නිලධාරී, සහ ආයතනික කළමනාකාරිත්වයේ ඇතිවන පුරප්පාඩු පිරවීම සඳහා අත්‍යවශ්‍ය වන ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුකූලතා සහතිකය (Fit & Proper Certificate) ලබාදීම අසාමාන්‍ය ලෙස ප්‍රමාද කිරීම මෙන්ම වෘත්තීමය නොවන ආකාරයට කටයුතු කිරීම තුළ එම බැංකුවල කටයුතු සුමටව පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උද්ගත වී ඇත.

ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී පත්කිරීම, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සාමාන්‍යාධිකාරී ඇතුළු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් කීපදෙනෙක් පත්කිරීම, මහජන බැංකුවේ නියෝජ්‍ය හා සහකාර සාමාන්‍යාධිකාරීවරු ගණනාවත් කිරීම, HDFC බැංකුවේ සභාපතිවරයෙකු පත්කිරීම, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකු පත් කිරීම සිදුනොවී පවතින අතර මේ හේතූන් නිසා එම පත්වීම් ලද නිලධාරීන් මෙන්ම අදාළ බැංකු ද බරපතල අර්බුදයන්ට පත්වෙමින් පවතී.

මෙසේ තිබියදී සමහර බැංකුවල සමහර නිලධාරීන්හට පැහැදිලිව හෙළිදරව් වූ චෝදනා හා අඩුපාඩු තිබියදී ඉතා කඩිනමින් අනුකූලතා සහතික ලබාදුන් අවස්ථා ද දක්නට ලැබෙන අතර ඒ තුළින් මෙම තීන්දුවල විනිවිදභාවය සහ බැංකු අධීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අපක්‍ෂපාතීභාවය පිළිබඳව බරපතල සැක සංකා මතු වී ඇත.

එබැවින් HDFC බැංකුවේ අයහපත් තත්වය පිළිබඳ අවධානය යොමුකර, එය නිසි මගට යොමු කිරීමටත්, කප්පාදුවට ලක්කර ඇති සේවක අයිතිවාසිකම් ලබාදීමටත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ, බැංකු සුපරීක්‍ෂණ අංශයේ අධ්‍යක්‍ෂිකාවගේ අත්තනෝමතික ක්‍රියාකලාපය සම්බන්ධව කඩිනම් විමර්ශනයක් සිදු කරමින් නිසි මැදිහත්වීම් සිදුකරන ලෙසත් ලංකා බැංකු සේවක සංගමය සියලු වගකිවයුතු බලධාරින්හට අවධාරණය කර සිටී.