වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු දේශපාලනිකරණයට ලක් කිරීමට තැත් කිරීම සහ තවත් අර්බුද ඇති කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් අපහසුතාවයට පත්වීම මෙන්ම රෝගී සත්කාර සේවාව ද බිඳවැටීමේ තර්ජනයක බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,
වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාවලිය ආයතන සංග්‍රහය කාර්ය පටිපාටි නීති රෙගුලාසි අනුව, ස්ථානමාරු මණ්ඩලයක් තුළින් සිදුවන නෛතිකව සහ පරිපාලනමය වශයෙන් පිළිගත් ක්‍රමවේදයකි. නමුත් ඉතා අවාසනාවන්ත ලෙස වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාවලිය මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය බලධාරින්ගේ අත්තනෝමතික සහ අනීතික ක්‍රියාකලාපයන් නිසාද නීති විරෝධී දේශපාලණික බලපෑම් නිසාද දැඩි අර්බුදයකට පත් .
2025 වාර්ශික ස්ථානමාරු ලැයිස්තුවේ පුරප්පාඩු 78 ක් නීත්‍යානුකූල නොවන ලෙස අධ්‍යක්ෂ, වෛද්‍ය සේවා විසින් අත්තනෝමතිකව සහ නීත්‍යානුකූල නොවන ලෙස ඉවත් කරන ලදී. මෙම නීත්‍යානුකූල නොවන ක්‍රියාව හේතුවෙන් 2025 වාර්ෂික ස්ථානමාරු ලැයිස්තුවේ සිටින වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයකට තමන්ට හිමි විය යුතු රාජකාරි ස්ථාන අනුපිළිවෙල අනුව ස්ථානමාරු අවස්ථා ලැබීම අහිමි වී ඇත.
මේ සම්බන්ධව වාර ගණනාවකදී සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරින් සමඟ සාකච්ඡා කලද, අගතියට පත් වෛද්‍යවරුන් හට කිසිදු සහනයක් මේ වන තෙක් සෞඛ්‍ය අමාත්‍යාංශ පාර්ශවයෙන් ලබා දිමට එකදු පියවරක් හෝ ආරම්භ කර නැත.
ඉහත කී නීත්‍යානුකූල නොවන සහ පරිපාලනමය වශයෙන් වැරදි තීරණය 2026 වාර්ශික ස්ථානමාරු ලැයිස්තුව සම්බන්ධයෙන් ද බලාත්මක කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරින් සූදානම් වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට දැනගන්නට ලැබී ඇත. එම නිත්‍යානුකූල නොවන ක්‍රමවේදය පිළිබඳ අපගේ බලවත් විරෝධය ප්‍රකාශ කර සිටිමට කැමැත්තෙමු.
ඕනෑම රටක දුෂ්කර සේවා ස්ථාන වල රාජකාරි සඳහා වෛද්‍යවරුන් ආකර්ෂණය කර ගැනිමට විවිධ දිරිගැන්වීම් ලබාදීමක කටයුතු කරයි. ශ්‍රී ලංකාව තුල ඉතාමත්ම දුෂ්කර සේවා ස්ථාන ගණනාවක් හදුනාගෙන ඇති අතර ඒ්වායේ රාජකාරි කිරීමට යොමුවන වෛද්‍යවරුන් හට ලබාදෙන එකම දිරිගැන්වීම වන්නේ සේවා කාලය වසරකින් පසු විශේෂ ˝දුෂ්කර සේවා ස්ථානමාරු ලැයිස්තුවක්˝ මඟින් ස්ථානමාරුවක් ලබා ගැනීමට අවස්ථාව සලසා දිමයි මෙම ඒකම දිරිගැන්විම, කිසිදු සාකච්ඡාවකින් හෝ පාර්ශවකරුවන්ගේ එකගතාවයකින් තොරව නීතිවිරෝධී ලෙස වසර 02 ක් දක්වා දිගු කිරීමට කටයුතු කර ඇත. මෙම ක්‍රියාව තුලින් වෛද්‍යවරුන් දැඩි අසාධාරණයකට ලක් වන අතර, එසේ කරන්නේ නම් විශේෂ ස්ථානමාරු ලැයිස්තුවක් පැවතීමේ අවශ්‍යතාවය ද ප්‍රශ්නසහගත වේ. මන්දයත්, සේවා කාලය වසර 02 කින් පසු වාර්ෂික ස්ථානමාරු සඳහාද ඉල්ලුම් කල හැකි බැවින් වේ. මෙය හුදු දේශපාලනික අවශ්‍යතාවයක් උදෙසා වෛද්‍යවරුන් අවභාවිතා කිරීමට ලබා ගන්නා ලද තීරණයක් බව අපගේ අදහසයි.
එපමණක් නොව සේවා ස්ථාන 393 කින් යුතු වූ දුශ්කර සේවා ස්ථාන ලැයිස්තුව ද සේවා ස්ථාන 260 ක් දක්වා කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැතිව දේශපාලනික අවශ්‍යතා මත අඩු කිරීම සිදු කර ඇත. එම ස්ථාන වල දුෂ්කරතාවයන් තවමත් අඩු නොවී එලෙසම පවතින අතර, මෙය තුළින් ද වෛද්‍යවරුන්ට දැඩි අසාධාරණයක් සිදු වී ඇත. එමෙන්ම මෙම ලැයිස්තුවෙන් කප්පාදු කරන ලද සේවා ස්ථාන වැසියාමේ තර්ජනය මෙම කප්පාදුව මඟින් තව දුරටත් උග්‍ර වීම රටේ රෝගී ජනතාවට ඍජුවම මුහුණ දීමට සිදු වනු ඇත. එමෙන්ම පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් අනුයුක්ත කිරීමේ ලැයිස්තුවද කිසිදු පාර්ශවකරුවෙකුගේ එකඟතාවයක් නොමැතිව අත්තනෝමතිකව ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කරමින් සිටින්නේ එම ලැයිස්තුවද දේශපාලණිකරණය කරමින් දේශපාලනඥයින්ගේ වුවමනා එපාකම් ඉෂ්ඨ කිරීම සඳහා වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ප්‍රයෝජනයට ගැනීමට උත්සාහ කිරීමේ ප්‍රතිඵලයක් ලෙසය.
සැමට සමාන ලෙස ස්ථානමාරු ක්‍රියාත්මක නොකරමින් තොරා ගත් පිරිසකට පමණක් ස්ථානමාරු ක්‍රියාත්මක කිරීම සහ පලිගැනීමේ චේතනාවෙන් එම ස්ථානමාරු කටයුතු සිදු කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයකට දැඩි අසාධාරණයකටත් අපහසුතාවයකටත් මුහුණ පා ඇත.
ස්ථානමාරු ක්‍රියාවලිය නිසි කාලරාමුව තුළ නිසි පරිදි ක්‍රියාත්මක කරවීමට සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරින් අපොහොසත්වීම තුළින් වෛද්‍යවරුන් මෙන්ම, වෛද්‍ය හිගය යාමනය නොවීම නිසා රෝහල් ගණනාවක සත්කාර සේවා ලබා ගන්නා රෝගින්ද දැඩි අපහසුතාවයකට ලක් වී ඇත.
ඉහත කී දුෂ්කර සේවා ස්ථාන ලැයිස්තුව සහ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් අනුයුක්ත කිරීමේ ලැයිස්තුව යන ලැයිස්තුන් දෙකම නිසි ක්‍රමවේදයෙන් බැහැරට ගොස් තාක්ෂණික උපදෙස් අත්හැර දමමින් දේශපාලනිකරණයට ලක්කරමින් පෙර කිසි දිනක සිදු නොවු ලෙස කැබිනට් මණ්ඩල අනුමැතියකින් යුතුව ප්‍රකාශයට පත්කිරීමේ සුදානමක් ඇති බව අප හට මාධ්‍ය මඟින් සැලවී ඇත.
විශේෂඥ, පරිපාලන සහ ශ්‍රේණි යන කාණ්ඩ 3 හිම වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ආයතන සංග්‍රහය, කාර්ය පටිපාටි රෙගුලාසි අනුව සෞඛ්‍ය අමාත්‍යංශ ස්ථානමාරු මණ්ඩල මඟින් සාකච්ඡා කර තිරණය කිරීමෙන් අනතුරුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව ප්‍රකාශයට පත් කිරීම පිළිගත් නීත්‍යානුකූල ක්‍රමවේදයයි.
නමුත් අවාසනාවන්ත ලෙස ක්‍රමවේද ආරක්ෂා කිරීම ප්‍රඥප්තිය කරගත් රජයක සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ සෞඛ්‍ය අමාත්‍යංශය ක්‍රමවේද කඩා බිඳ දමමින් ඉතා උද්දච්ච ලෙස ක්‍රමවේද සියල්ල දේශපාලනිකරණය කරමින් කැබිනට් මණ්ඩලය වෙත බලය ලබා ගැනීමේ ක්‍රියාවලියක නිරත වේ.
අපට දැනගන්නට ලැබෙන පරිදි ඉතාමත්ම විමතියට කරුණ නම් වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයාට මෙම ස්ථානමාරු ක්‍රියාත්මක කිරීම සම්බන්ධව උපදෙස් දීම සඳහා කටයුතු කරන්නේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ කාලයේ ඔහු හා සමීපතවම කටයුතු කල පුද්ගලයෙකු වීමයි. එම පුද්ගලයා වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා මඟින්ද විවිධ තනතුරු වලට පත් කිරීම සිදු කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අපට දැනගන්නට ලැබි ඇත. පසුගිය රජයන් සහ සම්බන්ධ පුද්ගලයන් ඒකාබද්ධ කරනොගනිමින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කල වර්තමාන රජයේ ප්‍රධානතම අමාත්‍යවරයෙක් මෙලෙස කටයුතු කිරීම පිළිබදව අපටද ඇත්තේ ප්‍රශ්ණාර්ථයකි.
මෙම දේශපාලනිකරණය කිරීම් සහ අත්තනෝමතික ක්‍රියාවලීන් පිළිබඳව රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අප විසින් පැමිණිලි කරන ලද අතර මෙම අනීතික අතපෙවීම් වෛද්‍ය ස්ථානමාරු වලින් ඉවත් කර නොගන්නේ නම් ඊට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළඹීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කිසිසේත් පසු බට නොවන බවට අවදාරණය කිරීමට කැමැත්තෙමු.

