කැස්ස වගේ කොරෝනා හොයන්නට ගොස් අමාරුවේ වැටීම (VIDEO)

PCR පරීක්ෂණ ප්‍රමාණය අඩු කිරීම හේතුවෙන් රට තුල වසංගතය පැතිරීම පිළිබඳව නිවැරදි අදහසක් ඇතිකර ගැනීම අසීරු වී ඇති බවත්, කොරෝනා ස්වයං පාලනයකට ලක් නොවන බවත්, අවධාරණය කරමින් මාස දෙකක පමණ කාලයක් තිස්සේ අප සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන්ගෙන් PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩිකරන ලෙස ඉල්ලමින් අරගල කළේය.

වසංගත රෝග අංශයේ ප්‍රධානීන් ඊට ප්‍රතිචාර දක්වමින් සදහන් කරන ලද්දේ "කණා මුට්ටි ගසන ආකාරයට PCR පරීක්ෂණ වැඩි කළ නොහැකි බවත්, කැස්ස වගේ කොරෝනා හැංගීමට බැරි බැවින්, PCR නොමැතිව කොරෝනා හඳුනා ගැනීමට ඔවුන්ට හැකි බවත්, PCR පරීක්ෂණ ප්‍රමාණය අඩුකර ඇත්තේ හිතාමතා, තාර්කික ක්‍රමයකට" බවත්ය.

කෙසේ නමුත් එකී පාණ්ඩිත්‍යයේ ප්‍රතිඵල මේ වන විට වාර්ථා වෙමින් පවතින නමුත්, එහි වගකීම ජනතාව මත පැටවීමට දරණ උත්සාහය නිර්ලජ්ජිතය.

එනයින්, මාර්තු සහ අප්‍රේල් මුල් සති දෙක තුල පාලනය කලායැයි ප්‍රකාශිත වසංගතය, අප්‍රේල් අග සති දෙක වන විට විශාල කැරැල්ලක් දක්වා වර්ධනය වීම හිටි හැටියේ සිදු වූ සිදුවීමක් ලෙස හෝ මහජනතාවගේ වැරදි හැසිරීම නිසා සිදු වූවක් ලෙස සලකා අත පිසදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට නොහැකිය.

කෙසේ නමුත් සමහර සෞඛ්‍ය බලධාරීන්ගේ එවන් උද්දච්ච සිවරූපයේ තීරණ හේතුවෙන් රට නැවත නැවත වලේ වැටීම වළක්වමින්, සමාජ ව්‍යාප්තියක ට ලක්ව ඇති රෝගයකට අදාළ වන සේ සක්‍රිය, අක්‍රිය හා අහඹු පරීක්ෂණ ප්‍රමාණාත්මකව සිදුකරමින් සිදුකරමින්, රෝගයේ සැබෑ ස්වරූපය හඳුනාගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමක් බව අප අවධාරණය කරමු.

රෝගය පාලනය කල අවසන් අවස්ථාවන් සියල්ලේදීම පාලනය අත්හැර, පෞද්ගලික ව්‍යාපාරවලට අවැසි සේ අයාලේ යන්නට ඉඩ හැරීම මගින් නැවත නැවත එකම ගැටළුවට මුහුණ දීමට රටට සිදුවී ඇති අතර, හේතුවෙන් බිම් මට්ටමේ ඉතා කැපවීමෙන් කටයුතු කරන සෞඛ්‍ය කාර්යය මණ්ඩලයන් ගේ කැපවීම අපතේ යන්නට ඉඩ සලස්වා ඇති බැවින් සාමූහික සෞඛ්‍යය පාලන ක්‍රමයක් ඇති කිරීම පිළිබඳව ද රජයේ දැඩි අවධානය යොමු විය යුතුය.

රවි කුමුදේස්