වසර 200ක් පුරා කඳුකර දෙමළ ජනයාට අහිමිකළ අයිතීන් දිනාගැනීමට කිලෝමීටර 239+ක පාගමන (Photo-Video)

ඉන්දියාවේ දිට තෛලෙයි මන්නාරම හරහා ලංකාවේ වතුවල ‘වැඩ’ සදහා ගෙන එන ලද දෙමළ ජනයා සිය දුක්මුසු, පීඩිත, අවවරප්‍රසාදිත, අයිතීන් නොමැති වසර 200 සිහි කරනු ලබන්නේ මෙම 2023 දීය. මෙම වසර 200 පුරාම එම කඳුකර දෙමළ මිනිසුන් සිය දහදිය, කදුලු, ලේ වගුරුවා මේ ලාංකීය භුමිය පෝෂණය කළෝය. පෝෂණය කරමින් සිටින්නේය. නමුත් මේ කාලය පුරාම එම මිනිසුන්ට සිය ජීවිතය ගෙන යාමට සිදුවූයේ ‘වහලුන්’ සේ අනෙක් ජනයාට සාපේක්ෂව කිසිදු අයිතිවාසිකමක් භුක්ති විදිමින් නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

“මම ඉන්දියාවේ ඉදලා ආවේ වයස අවුරුදු 4 දි, අම්මයි තාත්තයි තමයි මාව ලංකාවට එක්කං ආවේ”

“ඒ කාලේ දලූ කැඩුවේ නැත්තං කන්කානි මහත්තයා අත දිගහරින්න කියලා අතට ගහනවා…”

ඇය නමින්, එම්.දෛයීවානී ය.(M.Daivanai) 1915 නොවැම්බර් 15 වෙනිදා,(ඇයට මතක ලෙස) ඉන්දියාවේ උපත ලද ඇය ශ්‍රී ලංකාව නම් දූපතේ ‘තේ‘ වගාව සාරවත් කර ගැනීම සදහා එවක ලංකාව පාලනය කල බ්‍රිතාන්‍යන් විසින්, ඉන්දියාවේ සිට ගෙන ආවේය. ඒ ඇයට වසර අවුරුදු 4 දීය.

අයිතිවාසිකම් දිනා ගැනීම සදහා වන ඓතිහාසික පාගමන

මේ වසර 200 පුරාම ලංකාවේ පාලකයන් විසින් හිතාමතාම කඳුකර දෙමළ මිනිසුන්ට හිමි අයිතිවාසිකම් ලබා දීම මගහරින ලද්දේ ඉතාමත් සාහසික, ගෝත්‍රික ආකාරයකිනි. මේ සාහසිකත්වයට විරුද්ධව ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම උදෙසා වන පා ගමන පසුගිය ජූලි 28වනදා තලෛයිමන්නාරමින් ඇරඹිණි. ”මුලයන් සොයමින් අයිතීන් දිනාගැනීමට” (வேர்களை மீட்டு உரிமை வென்றிட) යන තේමාව ඔස්සේ ඇරඹි මෙම අයිතිවාසිකම් සදහා වන පාගමන අද වන විට මිහින්තලේ ප්‍රදේශය හරහා ගමන් කරයි.

සබැඳි පුවත්

“මෙරට කඳුකරයේ වතුවල වැඩ කිරීම සඳහා මෙරටට මුලින්ම රැගෙන එන ලද කාන්තා සහ පිරිමි පුද්ගල කණ්ඩායම් පැමිණි ගමන අපි යළිත් සොයමින් සිටින්නෙමු. වසර ගණනාවක් මුළුල්ලෙහි දහස් සංඛ්‍යාත පිරිසක් මන්නාරමට ගොඩබැස එතැන් සිට මාතලේ දක්වා අනතුරුදායක ගමනක් පාගමනින් ගියහ. ඔවුහු රෝග විඳදරා ගනිමින්, කැලෑ එළිපෙහෙළි කරමින්, වනසතුන්ට නිර්භයව මුහුණදෙමින් ගමන් කළහ. බොහෝදෙනෙක්, ඇතැම් කණ්ඩායම්වල 40%කට අධික පිරිසක්, ගමන අතරමඟදී මියගිය අතර, ඔවුන්ගේ සිරුරු භූමදානය කරන ලදී, නැතහොත් බැහැරකර දමන ලදී. මෙයට වසර දෙසියයකට පෙර මෙම දුෂ්කර මඟ පියමං කළ එම මුල්ම පරම්පරාව පිළිබඳ ආවර්ජනයකර, ඔවුන් සමඟ සම්බන්ධවන වන්දනා ගමනක් වූ මෙම ගමනට අප සමඟ එක්වන ලෙස අපි ඔබ සැමට ආරාධනා කරන්නෙමු.” යනුවෙන් ඔවුන් සදහන් කරයි.

මෙම පාගමනේ දී ඔවුන් විසින් සිය ජීවිතය සහ යුක්තිය උදෙසා මූලික ඉල්ලීම් 11ක් ඉදිරිපත් කරයි.

ඉන් එක් ඉල්ලීමක් වන්නේ,

“අනෙකුත් ප්‍රධාන ප්‍රජාවන් හා සමානව වෙනමම අනන්‍යතාවක් සහිත, නිදහස් ශ්‍රී ලංකාවේ ජන කොටසක් ලෙස ගැනීම“

(උපුටා ගැනීම - vikalpa.org)